යාල වන උයනෙන්  කොටි සම්පත තුරන්වේද?

කොටින් දිවා කාලයේ හැසිරෙනු දැක බලා ගැනීමට ලොව වඩාත්ම සුදුසු ස්‌ථානය යාල සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානයයි.

ලොව පුරා වෙසෙන කොටි උප විශේෂ අටෙන් එකක්‌ වන පැන්තොරා පාඩ්‍රස්‌ නමින් හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ කොටියා දිවාචර හැසිරිSම් පෙන්වීම නිසා දිවා කාලයේදීද ඉතා පහසුවෙන් දැකගත හැකිය.

වෙරළබඩ කලාපයේ සිට උස්‌ කඳු මුදුන් දක්‌වා වූ ස්‌වාභාවික වනාන්තරවල ජීවත්වන ශ්‍රී ලංකා කොටියා තුළ සෑම උප විශේෂයකින්ම වෙනස්‌ව පවතින ගති ලක්‌ෂණ බොහෝමයක්‌ දක්‌නට ලැබේ. ඔවුන්ට සිය අනුවර්තන හැකියාව හා රහසිගතව හැසිරීම් රටාව හේතුවෙන් නිරාවරණය නොවී මිනිස්‌ වාසස්‌ථානයන්ට හා කෘෂි බිම්වලට ඉතා ආසන්නයෙන් ජීවත් වීමේ හැකියාව ඇත. නිශාචර සතකු ලෙස කොටියා රාත්‍රි කාලයෙදී විශාල භූමි පරාසයක්‌ පුරා නිදැල්ලේ හැසිරෙති.

මේ අනුව වැඩිම කොටින් සංඛ්‍යාවක්‌ වෙසෙන වනෝද්‍යාන ලෙස යාල සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානයන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. මින් අද්විතිය ස්‌ථානයත් හිමිවන්නේ යාල ජාතික වනෝද්‍යානයටයි.

අග්‍රස්‌ථ පළමු පෙළ විලෝපීයකු ලෙස වනෝද්‍යානයෙහි ශාක භක්‌ෂකයන් සංඛ්‍යාව පාලනය කරමින් ප්‍රමාණය ඉක්‌මවා උලා කෑම හේතුවෙන් මුළු පරිසර පද්ධතියම බිඳ වැටීම මොවුන් විසින් වලක්‌වයි.

මේ නිසා කොටින් වනෝද්‍යානයෙන් වඳවී ගියොත් මුළු පරිසර පද්ධතියම ක්‍රමයෙන් බිඳ වැටීමට ලක්‌වේ. අවස්‌ථාවාදී විලෝපියකු ලෙස හැඳින්වෙන මොවුන්ගේ ආහාරය සඳහා ශෘක භක්‌ෂකයන්ට පමණක්‌ සීමා නොවී පුළුල් පරාසයක ගොදුරු මෙන්ම මළ කුණු ද ආහාරයට ගනිති.

වනෝද්‍යානයකට හෝ රක්‍ෂිත වනාන්තරයකට නැතිවම බැරි අලංකාර සත්වයකු මෙන්ම ශ්‍රී ලංකාවේ සොබා සංචාරයට අදාළව මිල කළ නොහැකි මූල්‍ය වටිනාකමක්‌ද ඇති ශ්‍රී ලංකා කොටින් නැරඹීමට සංචාරකයන් විශාල වශයෙන් මුදල් වැය කිරීමට ද පෙළැඹි සිටිති.

ලෝකයේ බොහෝ රටවල වෙසෙන කොටින්ට ව්‍යාඝ්‍රයන් හා සිංහයන් සමග ද තරග කිරීමට සිදුව ඇතත් අප රටේ වෙසෙන ශ්‍රී ලංකා කොටින්ට තරග වැදීමට තරගකරුවන් නොමැත.

එහෙත් දැන් ඔවුන්ට තර්ජන එල්ල වෙන්නේ නොඉවසන සුළු වූ ව්‍යාඝ්‍රයන්ගේ සිංහයන්ගෙන් නොව මිනිසා ගෙනි.

වනාන්තර භූමි ප්‍රදේශ සංවර්ධන ක්‍රියා සහ කෘෂිකර්ම භූමි බවට පරිවර්තනය හා නීති විරෝධී ලෙස ගංජා වගා කිරීම සඳහා වනාන්තර හොර රහසේ මහා පරිමාණයෙන් එළි පෙහෙළි කිරීමේ මිනිස්‌ ක්‍රියා නිසාද වන සතුන් මෙන්ම කොටින්ද අන්තරායකට මුහුණ පා සිටිති.

කොටි සමට මෙන්ම විවිධ මිථ්‍යා මත හේතුවෙන් කොටින්ගේ දත් නියවලටද ඉහළ මිලක්‌ ලැබීම හේතුවෙන් කොටින් දඩයම්කරුවන් ගොදුරක්‌ බවට පත්වේ.

වන සතුන් දඩයම් කිරීම නිසා කොටින්ගේ ගොදුරු උදුරා ගැනීම හේතුවෙන් ආහාර සොයා මිනිස්‌ වාසස්‌ථාන ආසන්නයට එන කොටින් පහසුවෙන්ම දඩයම්කරුවන්ගේ තුවක්‌කුවට බිළිවේ.

ලංකාවේ කොටි ග්‍රහණය පිළිබඳව ගණනය කර නැතත් කොටින් 500-1000 ක්‌ අතර ප්‍රමාණයක්‌ සිටින බවට විශ්වාස කෙරේ.

එහෙත් මෙවැනි තත්ත්වයක්‌ යටතේ කොටි ගහනය ක්‍රමයෙන් අඩු වෙමින් පවති.

වනෝද්‍යාන හරහා වැටී ඇති ප්‍රධාන මාර්ග ඔස්‌සේ අධික වේගයෙන් ගමන් ගන්නා රථ වාහන ද කොටියන්ට ගෙන එන්නේ අපල කාලයකි.

මීට හොඳම උදාහරණය වනුයේ යාල ජාතික වනෝද්‍යානයෙහි ගල්ගේ හරහා වැටී ඇති කතරගම බුත්තල ප්‍රධාන මාර්ගයෙහි දී අධික වේගයෙන් ධාවනය වූ රථවාහනයකට ගැබ්ගත් කොටි දෙනකු හැපී මීට සති කිහිපයකට පෙර මිය යැමයි.

යතුරුපැදිවලින් හා වෑන් රථවලින් යන ජංගම මාළු වෙළෙන්දන් රක්‌ෂිත වනාන්තරයට මුදා හරින මාළු අප ද්‍රව්‍ය කෑමට පුරුදුව සිටි මෙම මියගිය කොටි දෙන මාර්ගය හරහා පැන යෑමට උත්සාහ කරද්දී එම මාර්ගයේ ධාවනය වූ රථ වාහනයකට හසුවී එතැනම මියගොස්‌ තිබුණි.

මියගිය කොටි දෙනගේ කුස තුළ පැටAවුන් තිදෙනක්‌ද සිටි අතර මෙලොව එළිය දකින්නටත් පෙර එම පැටවුන් තිදෙනා මව් කුස තුළම මව සමග මියගොස්‌ තිබිණි.

ඉකුත් 09 වන දින යාල ජාතික වනෝද්‍යානයෙහි පළමු කොටස තුළදී ද කොටියකු මියගොස්‌ තිබිණි. කොටින් දෙදෙනකු අතර ඇතිවූ දරුණු ගැටුමකින් පසු බරපතළ තුවාල ලැබූ එක්‌ කොටියකු මෙසේ මියගොස්‌ ඇත.

මිය යැමට පෙර දින පහක්‌ නිරාහාරව සිටි එම කොටියා මෝඩ වළට දිය බීමට පැමිණි නැවත ආපසු යැමට නොහැකිව වල අසල වැටී සිටියදී වල් ඌරන්ගේ ප්‍රහාරයකට ලක්‌ව තිබේ.

පශූ වෛද්‍යවරයා සහ වනජීවී නිලධාරීන් එම ස්‌ථානයට යන විට වල්ඌරන්ගේ ප්‍රහාරයට ලක්‌ව සිටි කොටියා මියගොස්‌ තිබිණි.

මේ සියල්ල හමුවේ කොටින්ගේ දෛනික දිවි පෙවතට බාධාවක්‌ වී ඇත්තේ වනෝද්‍යානය තුළ පවත්වාගෙන යනු ලබන සුඛෝපභෝගී කඳවුරු සේවාවන්ය.

වන සත්ත්ව සහ වෘක්‌ෂලතා ආරක්‍ෂිත ආඥපතන අමු අමුවේ උල්ලංඝනය කරමින් පවත්වාගෙන යනු ලබන මෙම නීති විරෝධී කඳවුරු කොටින්ගේ දිවි පැවැත්මට දැඩි ලෙස බලපා ඇති බව යාල ජාතික වනෝද්‍යානයෙහි කඳවුරු බිම් ප්‍රදේශයට රාත්‍රි කාලයෙහි යන ඕනෑම කෙනෙකුට දැකිය හැකිය.

වනෝද්‍යානය පෝෂණය කරන මැණික්‌ ගඟ දෙපස පිහිටි වන රොදවල් ඉවත් කර කඳවුරු ඉදිකර තිබීම නිසාත් කඳවුරු බිම් වලදී රාත්‍රියෙහිද ගිනි මැළ පවත්වාගෙන යැමත් කඳවුරු අවට විශාල වශයෙන් ගිනි පන්දම් දැල්වීම නිසාත් කොටින්ට කඳවුරු බිම් හානිකර ලෙස බලපා ඇත.

වලසුන් මෙන්ම කොටින්ද සංචාරකයන්ට පෙන්වීම සඳහා කඳවුරු සේවා පවත්වා ගෙන යන පිරිස්‌ අසම්ප්‍රදායික ක්‍රම ද භාවිත කරති. හරක්‌ මස්‌ මෙන්ම බාබකිව් කරන ලද සෙසු මස්‌ වර්ග කොටින්ට දී කඳවුරු බිම් තුළට කොටින් ගෙන්වා ගැනීමේ අසම්ප්‍රදායික ක්‍රමයන් නිසා කොටින්ගේ දිවි පැවැත්මට දැඩි ලෙස බලපා ඇත.

එහෙත් වන සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥපනත මෙසේ නිරතුරුවම උල්ලංඝනය වෙද්දී ඒ පිළිබඳව අනාවරණය කර ගැනීමට හෝ ඊට විරුද්ධව නෛතික ක්‍රියා මාර්ගයක්‌ ගැනීමට අපොහොසත් වන වනජීවී නිලධාරීන් වනෝද්‍යානය තුළ කඳවුරු බිම් පෞද්ගලික ආයතනයන් වෙත බදු දීම තුළින් ලබන ආදායම් පිළිබඳව වන ජීවීන් උදම් අනන්නේ ඔවුන්ගේ කාර්ය භාරය අමතක කර දමමිනි. මෙය කනගාටුවට කරුණකි.

ඡායාරූප

කොටි මළ සිරුරෙහි පශ්චාත් මරණ පරීක්‌ෂණ කටයුතු සිදු කරන තිස්‌සමහාරාම මූලික රෝහලෙහි ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් වීරසිංහ මහතා සහ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි වෛද්‍ය එම්. එන්. එම්. ක්‍රිෂාන්ත මහතා.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.