අම්බලන්තොට ප්‍රාදේශීය
සභා මන්ත්‍රී ඇතුළු

අනුන් වෙනුවෙන්
කොරියානු  විභාගය ලියූ
6 දෙනකුට ඇප

පස්‌ දෙනකුම කොරියාවේ
රැකියා කර පැමිණි අය

හේමන්ත රන්දුණු සහ පියදාස රණසිංහ

කොරියානු රැකියා සඳහා පැවැති භාෂා ප්‍රවීණතා විභාගයට වෙනත් අපේක්‍ෂකයන් වෙනුවෙන් පෙනී සිටීමේ චෝදනාව මත කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් හයදෙනා රුපියල් පන්ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (15 වැනිදා) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෝල්ටර් ගාමිණී නමැත්තා භාරයේ තිබූ විදේශ ගමන් බලපත්‍රය සහ විභාග ප්‍රවේශ පත්‍රයක්‌, නඩු භාණ්‌ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා වෙනත් අපේක්‍ෂකයන් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන්a හයදෙනකු කුරුඳුවත්ත පොලිසිය මගින් පෙරේදා (14 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත්තේ විභාග මධ්‍යස්‌ථාන භාර නිලධාරීන් ලබා දුන් තොරතුරු මතය.

විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ නිලධාරීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලයේ විභාග මධ්‍යස්‌ථානයේ සිටි මෙම සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් වෙනත් පුද්ගලයන් වෙනුවෙන් විභාගයට පෙනී සිටි බව හෙළි විය.

මෙහි විශේෂත්වය වන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් පස්‌දෙනකුම කොරියාවේ වසර ගණනාවක්‌ සේවය කර පැමිණි අය වීමයි. මොවුන් සිය මිතුරන් සහ ඥතීන් වෙනුවෙන් විභාගය සඳහා ඉදිරිපත්ව ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

කොරියානු භාෂාව පිළිබඳව හසල දැනුමක්‌ ලබා සිටි මෙම තරුණයන් තම හිතවතුන් සහ ඥතීන් විභාගයෙන් සමත් කරදීම සඳහා මෙසේ ඉදිරිපත්ව ඇති බව පොලිසිය පවසයි.

කොළඹ දකුණ භාර පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතාගේ උපදෙස්‌ මත කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කපිල ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.