විජිත හේරත්ගේ ලැප්ටොප් යන්ත්‍රය
උසාවියට භාරදීමට නියෝග

පියදාස රණසිංහ

ජනතා විමුක්‌ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට අයත් ලැප්ටොප් යන්ත්‍රය අධිකරණයට භාරදෙන ලෙසට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඒ මහතාට  නියෝග කළාය.

විනිසුරුවරිය එම නියෝගය කළේ දැනට වසර දෙකකට පමණ ඉහතදී විජිත හේරත් මහතා පදිංචිව සිටි පෝරේ කහන්තොට ප්‍රදේශයේ නිවස බිඳ ඒ මහතාට අයත් ලැප්ටොප් යන්ත්‍රය හා ජංගම දුරකථන දෙකක්‌ සොරා ගත් බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින සැකකරු එම චෝදනාවට තමා නිවැරැදිකරු බවට කළ ප්‍රකාශයක්‌ සැලකිල්ලට ගනිමිනි.

සොරකම සිදු වී දීර්ඝ කාලයකට පසුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි මෙම සැකකරු ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචි සුමිත් විඡේවීර නමැත්තෙකි. ඔහු දැනට ඇප කොන්දේසි යටතේ මුදාහැර සිටියි.

පැමිණිල්ල විභාගයට ගත් අවස්‌ථාවේ නීතිඥ ඩී. ජී. පී. කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දුන් විජිත හේරත් මහතා තමා 2010 වසරේ අතුරුගිරිය පොලිස්‌ බලප්‍රදේශයේ පෝරේ කහන්තොට ප්‍රදේශයේ පදිංචිa වී සිsටි බවත් එම වසරේ සැප්තැම්බර් මස 07 වැනි දින පාර්ලිමේන්තු රැස්‌වීමකට සහභාගි වී ආපසු නිවසට පැමිණෙන විට දොරගුල් කඩා නිවසට ඇතුළු වී අල්මාරිවල ලියකියවිලි අවුස්‌සා ලැප්ටොප් යන්ත්‍රය හා ජංගම දුරකථන දෙකක්‌ යම් කිසිවකු සොරාගෙන ගොස්‌ ඇති බව දැනගන්නට ලැබී සිද්ධිය සම්බන්ධව අතුරුගිරිය පොලිසියට පැමිණිලි කළ බවත් ප්‍රකාශ කළේය.

නීතිඥ සහායක්‌ නොමැතිව විවෘත අධිකරණය හමුවේ සිය නිදහසට කරුණු දක්‌වමින් සැකකරු කියා සිටියේ තමා කිසිසේත්ම මෙම සොරකමට සම්බන්ධ නොමැති බවයි.

මන්ත්‍රීවරයාට අයත් බව කියන ලැප්ටොප් යන්ත්‍රය නඩු භාණ්‌ඩයක්‌ වශයෙන් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර බැඳුම්කරයක්‌ යටතේ පැමිණිලිකාර මන්ත්‍රීවරයා වෙත මුදාහැර තිබිණි.

සැකකරුගේ ප්‍රකාශ සැලකිල්ලට ගත් විනිසුරුවරිය ලැප්ටොප් යන්ත්‍රය යළි අධිකරණය වෙත භාරදෙන ලෙස පැමිණිලිකාර මන්ත්‍රීවරයාට නියම කරමින් 2013 පෙබරවාරි 01 දින සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කළාය. විජිත හේරත් මන්ත්‍රීවරයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටීමට අවශ්‍ය නොවන බව ද විනිසුරුවරිය දැනුම් දුන්නාය.

මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටින සැකකරුට එරෙහිව සොරකම් සම්බන්ධව තවත් මෙවැනි පැමිණිලි කිහිපයක්‌ අධිකරණය හමුවේ ගොනු කර ඇතැයි පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.