කළුතර හිර ගෙදරට ගිය නි.ඇමැති හරවා යවයි

චමින්ද සිල්වා

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න මහතා බැලීමට පෙරේදා (14 වැනිදා) රාත්‍රි කළුතර බන්ධනාගාරයට යැමට උත්සාහ කළ වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්‌ හරවා යෑවීමට කළුතර බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ බව එම බන්ධනාගාරයේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

පෙරේදා (ඉරිදා) සැකකරුවන් බැලීමට නොහැකි බවත්, විශේෂයෙන් රාත්‍රි කාලයේ සැකකරුවන් පෙන්වීමට නොහැකි බවත් බන්ධනාගාර නිලධාරීන් නියෝජ්‍ය ඇමැතිවරයාට පවසා ඇත. ඉන් උරණ වූ ඇමැතිවරයා "එහෙනම් පස්‌සේ බලාගමු" යෑයි පවසා රාජකාරි කළ නිලධාරීන්ට ද බැණවැදී පිටව ගිය බව එම නිලධාරියා කීය.

නියෝජ්‍ය ඇමැතිවරයා සමඟ පහළොස්‌ දෙනකුගෙන් පමණ යුත් කණ්‌ඩායමක්‌ පැමිණ තිබේ. පළාත් සභා මන්ත්‍රීවරයා බණ්‌ඩාරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දුන් බව කියන සිද්ධියක්‌ යටතේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කළුතර බන්ධනාගාරයේ රඳවා සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.