ප්‍රතිපත්තිමය දුර්වලතා නිසා
වසර 7 ක්‌ තුළ දුම්වැටිවලින්
බිලියන 100 ක බදු රජයට අහිමි වෙලා


ශ්‍යාම් නුවන් ගනේවත්ත

රජයේ දුම්වැටි සඳහා බදු අයකිරීමේ හා මිල නියම කිරීමේ ප්‍රතිපත්තියේ පවතින දුර්වලතා හේතුවෙන් පසුගිය වසර හතක කාලය තුළදී (වර්ෂ 2005 සිට 2011 දක්‌වා) රජයට ලබාගත හැකිව තිබූ රු. කෝටි 10,000 ක (රු. බිලියන 100 ක) පමණ අති විශාල බදු ආදායමක්‌ අහිමි වී ගොස්‌ ඇතැයි වාර්තා වේ.

මේ මුදල රජය විසින් වාර්ෂිකව සමෘද්ධි වැඩසටහන සඳහා වියදම් කරන මුදල මෙන් දස ගුණයකටත් වඩා වැඩිය.

වෙරිටේ නම් පර්යේෂණ ආයතනය විසින් රජයේම සංඛ්‍යාලේඛන යොදාගෙන කරන ලද විශ්ලේෂණයක්‌ මගින් මේ බව හෙළිදරව් කර ඇති අතර එම පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය නිශාන් ද මෙල් මහතා පවසන්නේ ශ්‍රී ලංකා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට ද මේ තොරතුරු ලබාදී ඇති බවයි.

මේ තත්ත්වය නිවැරදි කරගෙන ඉදිරියේදී හෝ දුම්වැටි වලින් නිසි බදු ආදායමක්‌ උපයා ගැනීමට නම් දුම්වැටියක මිල තවත් සියයට 40 කින් පමණ ඉහළ නැංවිය යුතු බවද ආචාර්ය නිශාන් ද මෙල් පවසයි.

රටේ ඒකපුද්ගල ආදායම ඉහළ යැමට සාපේක්‌ෂව

සිගරැට්‌ මිල ගණන් ඉහළ ගොස්‌ නැති අතර "මතට තිත" ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන වත්මන් රජය යටතේ මේ විෂමතාව තවත් ඉහළ ගොස්‌ ඇති බවද වෙරිටේ ආයතනය එළිදක්‌වා ඇති පර්යේෂණ වාර්තාවේ සඳහන්ය.

රටේ ඒකපුද්ගල ආදායම ඉහළ යැමට සාපේක්‌ෂව දුම්වැටි සඳහා අයකරන සුරා බදු මුදල් වැඩි නොකර ඒ සඳහා අඩු බදු ප්‍රතිපත්තියක්‌ පවත්වා ගෙන යැම සඳහා දුම්කොළ කර්මාන්තයෙන් අදාළ බලධාරීන්ට බලපෑමක්‌ ඇතැයි අපේක්‍ෂා කළ හැකි බවද මේ තත්ත්වය දුම්වැටි භාවිතය වර්ධනය වීමට රුකුලක්‌ මෙන්ම රජයේ "මතට තිත" ප්‍රතිපත්තියට පටහැනි තත්ත්වයක්‌ බවද ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.