ලක්‍ෂ 20 ක රන් බඳ පටියේ
ගුවන් මගියාට පනස්‌දහසක්‌ දඩ


ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය,
ප්‍රසාද් කුමාරතුංග - ගුවන්තොටුපළ


රුපියල් ලක්‍ෂ විස්‌සකට ආසන්න වටිනාකමින් යුත් රත්‍රං කැබැල්ලක්‌ චෙන්නායි නුවර බලා රැගෙන යැමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් පෙරේදා (13 දා) පස්‌වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී මෙම පුද්ගලයාගේ හැසිරීම් පිළිබඳ සැක සිතූ රේගු නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ කිරීමේදී ඔහුගේ ඉණේ බඳින පටියේ සහ ශරීරය අතර සඟවා තිබියදී මෙම රත්‍රං කැබැල්ල සොයාගෙන තිබේ.

සැකකරු මෙම රත්‍රං කැබැල්ල උණු කර තනි රත්‍රං කැබැල්ලක්‌ ලෙස සාදා තිබූ බවත් එය රේගු පරීක්‍ෂණවලට හසුනොවන ආකාරයට කාබන් කොලවලින් හා සෙලෝටේප්වලින් සූක්‍ෂම ලෙස ඔතා තිබූ බවත් ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්‍ෂා කළ රේගු නිලධාරීන්ට මොහු පසුගිය අගෝස්‌තු මස සිට දස වතාවක්‌ මේ දක්‌වා චෙන්නායි නුවරට ගොස්‌ තිබෙන බව හෙළි වී තිබේ.

මේ පිළිබඳව රේගු පරීක්‍ෂණය පැවැත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා රත්‍රං කැබැල්ල රාජසන්තක කර සැකකරුට දැඩි ලෙස අවවාද කර රුපියල් පනස්‌දහසක දඩයක්‌ නියම කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.