තැන්පත් මුදල් අස්‌ථාවර
සමාගම්වල ආයෝජනයට එරෙහි
ඊ.පී.එෆ්. පෙත්සම 30දා සලකා බැලේ
වගඋත්තරකරුවන්ගෙන් උපදෙස්‌ ගන්න කල් මදිවෙලා

සරත් ධර්මසේන

සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පත් මුදල් පාඩු ලබන හා අස්‌ථාවර පෞද්ගලික සමාගම්වල කොටස්‌ මිලදී ගැනීමට යෙදවීම සාපරාධී වරදක්‌ හැටියට සලකා ඊට වගකිවයුතු අයට එරෙහිව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නීතිපතිට නියෝග කරන්නැයි ඉල්ලා වෘත්තීය සමිති සංවිධාන 11 ක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මෙම 31 වැනිදාට කල් තැබිණි.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්‌ හමුවේ ඊයේ (15 වැනිදා) මුල් වරට පෙත්සම කැඳවූ අවස්‌ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් බාරි මහත්මිය කියා සිටියේ තමාට ඇතැම් වගඋත්තරකරුවන්ගෙන් උපදෙස්‌ ලබාගැනීමට කල්වේලා මදිවූ බවයි. එනිසා පෙත්සම සලකා බැලීම කල් තබන ලෙස ඇය ඉල්ලා සිටියාය.

මූල්‍ය මණ්‌ඩලය මහා බැංකුවේ සභාපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ඇතුළු 9 දෙනකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

නිදහස්‌ වෙළෙඳ කලාප හා සාමාන්‍ය සේවක සංගමය, එජාපයට සම්බන්ධ ජාතික සේවක සංගමය, ජාතික වතු කම්කරු සංගමය, රක්‍ෂණ සේවක සංගමය පෙත්සම ගොනු කළ වෘත්තීය සමිති අතර වෙයි.

අධිනීතිඥ ඡේ. සී වැලිඅමුණ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.