රටේ හැම දරුවකුටම
ජාතික භාෂා දෙක අනිවාර්ය කර තිබුණා නම්
අද අප අතර පවතින අවිශ්වාසය සැකය අවසන්

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග

මේ රටේ ඉපදෙන හැම දරුවෙක්‌ම රටේ ජාතික භාෂා දෙක ඉගෙනීම අනිවාර්ය යෑයි අධ්‍යාපනයට ඇතුළත් කර තිබුණේ නම් අප අතර පවතින අවිශ්වාසය හා සැකය අද වෙනකොට මේ රටින් තුරන් වෙලා යෑයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පැවැසීය.

මදර් ශ්‍රී ලංකා භාරය ඡරදවැජඑ Rමබ රන් ව්‍යාපෘති යෝජනාවලිය පාසල් පද්ධතියට හඳුන්වාදීමට පළාත් පාලන හා කොට්‌ඨාස අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ පැවැති උත්සවය අමතා ජනාධිපති ලේකම්වරයා මේ බව පැවැසීය.

මදර් ශ්‍රී ලංකා භාරය ජනාධිපතිවරයාගේ අදහසක්‌ අනුව ආරම්භ කළේ. මෙම ආයතනයට රජයේ අරමුදල් ලබාදෙන්නේ නැහැ. පෞද්ගලික අංශ සමග එකමුතුවෙන් මෙම ආයතනය පවත්වා ගෙන යන්නේ . මෙවැනි ආයතනයක්‌ අත්‍යාවශ්‍යයි යෑයි අප දන්නවා. ඕනෑම රටක කලහකාරි කාලයකින් පසුව විශේෂයෙන් ත්‍රස්‌තවාදි උවදුරකට පසුව තිබෙන රටක්‌ ගතහොත් මෙවැනි සංවිධානයක්‌ නොතිබුණා නම් එවැනි රටවල් දියුණු වෙන්නේ නැහැ. රජයකට පමණක්‌ මෙය සිදුකළ නොහැකියි. වෙනත් පෞද්ගලික සංවිධානවලට පමණක්‌ කරන්න බෑ. මෙවැනි රාජ්‍ය නොවන බලගතු සංවිධානයක්‌ හැදුනොත් පමණයි අපිට මේ කාර්යය කරන්න පුළුවන් වෙන්නේ.

මෙහි කාර්ය භාරය ඉතාම විශාලයි. මෙහි ඉලක්‌ක වන වගකීම් සම්භාරයක්‌ දැරිය හැකි පුරවැසි භාවය එකමුතු බව හා ජාතික අභිමානය කියන කාරණා තුන පිළිබඳව ඔබ දැඩි ලෙස සලකා බැලිය යුතුයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයට තිබෙන බලවත් හැකියාව සහ ඔවුන්ට කළ හැකි බලපෑම් ඉතා විශාලයි. මේ කණ්‌ඩායමින් බැහැරව මෙය සිදුකළ හැකි වෙනත් අය සිටිනවා ද කියන එකත් සිතන්න අපහසුයි. ඉන්නවා නම් ඒ දෙමාපියන් පමණයි.

ඔබ අද මෙහි පැමිණි ගමන අපතේ යන ගමනක්‌ නොවෙයි. මේ අපේ ජාතිය හදාගන්න කරන රැස්‌වීමක්‌. මෙහි මූලිකයන් විය යුත්තේ ඔබයි. ඔබ එකිනෙකා යටතේ සිටින දරු පරපුර දහස්‌ ගණනක්‌ දරුවන් ලවා ඔබට කරගත හැකි දේවල් අප්‍රමාණයි. එවිට කළ හැකි බලපෑම සුළුපටු නැහැ. මේ දරුවන්ගේ සිත් ඔබ කිළිටු කරනවා නම් කවුද එය පිරිසිදු කරන්නේ. මධ්‍යම පාන්තික අපි අපේ දේවල් තනිව සිදුකර ගත යුතුයි. වෙනත් ක්‍රමවේද අපට නැහැ. එවැනි බොහොම දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ගොඩනැගෙන මත සංවාද තුළින් තමයි ජාතියක්‌ ගොඩනගන්න පුළුවන්. මේවා බොහෝම සුළු දේවල්.

කොරියාවේ සිමියෝ ලුංඩොන් කියන ව්‍යාපාරය 1962 දී ජනාධිපතිවරයෙක්‌ ඇති කළේ. එයින් තමයි අද කොරියාව මේ තරම් දියුණු වෙලා තියෙන්නේ. විනයක්‌ නොමැති විදේශිකයෙකුට යන්න බැරි රටක්‌ විදිහටයි. එදා තිබුණේ නමුත් අද වනවිට ඕනෑම කෙනෙකුට යන්න පුළුවන්. ඉතාමත් සුන්දර රටක්‌ බවට කොරියාව පත්ව තිබෙනවා. අපිටත් තියෙනවා එහෙම ව්‍යාපාරයක්‌. ඒ තමා මදර් ශ්‍රී ලංකා භාරය මෙහි සාමාජිකයන්වීම ඉතාම අභිමානයක්‌.

ඔබ ගුරු පියවරුන් මෑණිවරුන් වශයෙන් ඔබගෙන් ඉල්ලීමක්‌ කරන්න කැමතියි. මේ රටේ නායකයා ජාතික ගීය ගයන්නේ ඉතාම අභිමානයෙන්. අපගේ ත්‍රිවිධ බළකා නිලධාරීන් පොලිස්‌ නිලධාරීන් ජාතික ගීය ගායනා කරන අභිමානය දෙස බලන්න. ඔබත් ඔබේ දරුවන්ට කියලා දෙන්න ජාතික ගීය ගායනා කරනකොට බිම බලන්න එපා. කෙලින් ඉස්‌සරහා බලාගෙන අභිමානවත් ලෙස ජාතික ගීය ගායනා කරන්න ඔවුන්ට කියලා දෙන්න. ජාතික ගීයේ තිබෙන වචනවල තේරුම ඔවුන්ට කියා දෙන්න. ජාතික ගීය හරියාකාරව දන්නවා නම් ඔවුන්ට තමන්ගේ වගකීම් රැස නිසියාකාරව ඉෂ්ට කරන්න පුළුවන්.

මේ මදර් ශ්‍රී ලංකා ව්‍යාපාරය පහසුවෙන් පැමිණ ගමනක්‌ නොවෙයි. මේ ව්‍යාපාර පිළිගන්න සමහරු මැලිවුණා. අපි ඒක 2007 වර්ෂයේ පටන් ගන්න කොට ත්‍රස්‌තවාදීන්ට එරෙහිව කළ යුද්ධයක්‌ මේ රටේ තිබුණා. එය කිසිම ජාතියකට විරුද්ධව කරපු සටනක්‌ නොවෙයි කියන එක අපි දැඩිව ප්‍රකාශ කළ යුතුයි. අප නව අධ්‍යාපන පනතක්‌ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක්‌ තිබෙනවා. මේ රටේ ඉපදෙන හැම දරුවෙක්‌ම මේ රටේ ජාතික භාෂා දෙක අනිවාර්යෙන්ම ඉගෙන ගත යුතුයි. කියන දේ එයට ඇතුළත් කළ යුතුයි අද වෙනකොට ඒ දේ ක්‍රියාත්මක වෙලා තිබුණා නම් මේ කියන අවිශ්වාසය සහ සැකය අද වෙනකොට මේ රටින් තුරන් වෙලා.

අපි ඉතාම ගෞරවයෙන් මේ දේ සිදු කරන්නේ අපි දෙමළ භාෂාව ඉගෙන ගෙන තිබුණ නම් අද අපට දෙමළ භාෂාව කතා කරන්න පුළුවන් කියා අපට සන්තෝෂ වෙන්න පුළුවන්. මදර් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය තුළ විවිධ කුඩා ප්‍රමාණයේ වැඩසටහන් වලින් උත්සාහ දරන්නේ මේ රටේ ඉන්නේ එක ජාතියක්‌ පමණක්‌ කියන එක තේරුම් කර දෙන්න. අපි අයත් වෙනවා නොයෙක්‌ වර්ගවලට ඒ අපේ නිවසේ දී වාරිත්‍ර වාරිත්‍රවලදී විවිධ ඇදහිලි තිබෙන්න පුළුවන්. එය ප්‍රශ්නයක්‌ නොවේ. නමුත් අපි ජාතියක්‌ වශයෙන් ශ්‍රී ලාංකිකයෝ.

මදර් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය විශාල ව්‍යාපෘතියක්‌ නොවේ. මිලියන තුනක්‌ පමණ වන දරුවන්ට කතා කරන්න පුළුවන්. ජාතික ව්‍යාපාරයක්‌ ලෙස අපට තිබෙන්නේ මෙපමණයි. ඒ නිසයි ඔබට අද මෙවැනි කැඳවීමක්‌ කරලා ඔබෙන් ආයාචනා කරන්නේ මේ පිළිබඳ උනන්දු වෙන්න ඔබ අතෙයි මේ රටේ ජනගහනයෙන් පහෙන් එකක්‌ වන සිසු පරපුර සිටින්නේ. මේ ජනගහනය හරියට හදා වඩා අනාගතයට බාර දෙන්න.

අදත් අපි වැඩිහිටියෙක්‌, ගුරුවරයෙක්‌ දැක්‌කොත් නැගිටිනවා. ඔවුන්ට ගරු කරනවා. ඒ පොඩි කාලේ අපි ඉගෙන ගත් දේවල්. එහෙම නැති ජාතියකින් වැඩක්‌ නැහැ. ගුණ දහම් කියන්නේ ඒවාට ඒ පිළිබඳව දෙමළ සාහිත්‍යයේ වගේම සිංහල සාහිත්‍යයෙත් තිබෙනවා. අපි පොඩි කාලේ පතපොතවල තිබුණේ ඒවා. ඒ නිසා අපට වුවමනා කරන අදහස්‌ ඕනෑ තරම් තිබෙනවා. ඒ අදහස්‌ හරියට තේරුම් කරලා දෙන එකයි අපේ යුතුකම.

එහෙම වුණොත් මේ දරුවෝ මේ රට ගැන හැඟීමෙන් කටයුතු කරයි. මේ ව්‍යාපෘතිය තුළ ඒ දේ සිදු කරන්න ඕනෑ. මේ දරුවන්ට ගුරුවරු ලෙස ඔබට විශාල බලපෑමක්‌ කරන්න පුළුවන්. දරුවන් නිසි ලෙස හදා නොගත්තොත් අපිට අනාගතයේ දුක්‌ වෙන්න සිදු වේවි. හොඳ නරක කියා දුන්නේ නැත්නම් විෂයන් උගන්වා ඔවුන් බුද්ධිමත් කලාට වැඩක්‌ නැහැ. අපි අද කාර්යාලවල ගෙන යන ක්‍රමවේදවල මුල අපි ඉගෙනගත් දේවල්.

මේ ප්‍රජාව ඔබේ දැත ගෙන මැටි ගුලියක්‌ ලස්‌සන හැඩයක්‌ බවට පත් කරන්නා සේ දරුවන්ට ඉතා කරුණාවෙන් හොඳ නරක කියා දෙන්න. එතකොට මේ ඇතිවෙමින් පවතින අවිචාරවත් බව, අවිනීත ස්‌වභාවය නැති කරන්න ඔබට පුළුවන්. බටහිර සංස්‌කෘතිය මේ රටට ඇවිල්ලා අද දෙමාපියෝ දරුවෝ අතරමං වීමක්‌ සිදු වෙලා තිබෙනවා.

ගරුතර ස්‌වාමීන් වහන්සේලාගෙන් මම ඉල්ලා සිටිනවා පන්සල් ද දසදහසකට අධික ප්‍රමාණයක්‌ තිබෙන මෙ රටේ සංඝ පීතෘවරුන් වශයෙන් මේ කාර්ය ගැන සිත යොමු කරවන්න කියා. ඔබ වහන්සේලා කියන දේ දරුවෝ අහනවා. අපි දහම් පාසලෙන් ඉගෙන ගත් දේවල් අපට තාමත් මතකයි. බුදුදහමේ වගේම අනෙක්‌ දහම්වලත් සඳහන් වන හොඳ නරක පිළිබඳව දරුවන්ට කියලා දීලා දරුවෝ යහමගට ගන්න එකයි මේ මදර් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යභාරය.

මෙවැනි ව්‍යාපාරයක්‌ නොමැතිව යුද්ධයෙන් පෙළුණු රටක්‌ කිසිදින හදන්න බැහැ. අපිට අද අවශ්‍යයි මේ ප්‍රතිසංධාන ක්‍රියාවලියේදී ජාතීන් එකට එකතු කිරීමේ ක්‍රියාවලියේදී සෑම ජාතියකම තිබෙන වටිනාකම දරුවන්ට කියා දෙන්න. එකට ජීවත්වීමේ වටිනාකම කියා දෙන්න ඕනෑ ඒකයි මේ මදර් ශ්‍රී ලංකා කියන වචන තුන අපි භාවිත කරන භාෂා තුනෙන්ම තිබෙන්නේ.

ඒ නිසා මම හිතනවා මේ පණිවිඩය කියන්න අවශ්‍යයි කියලා. මේ වගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විශාල පිරිසක්‌ හමුවූ අවස්‌ථාවේ ඔබ තරම් මේ කාරණය පිළිබඳව දැඩි ලෙස කැපවිය හැකි, ශක්‌තිය තිබෙන සහ දරුවන්ට බලපෑම් කළ හැකි කණ්‌ඩායමක්‌ නැහැ. මේ රන් ව්‍යාපෘතිය තුළට ඔබගේ නිර්මාණශීලී බවත් එකතු කර මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්න කටයුතු කරන්න කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.