නීතිපතිගේ තීරණය අධිකරණයට දැන්වීමෙන් පසු
වරෙන්තු නිකුත් කර තිබූ ප්‍රබල
කොටි නායකයෙක්‌ නිදහස්‌ කරයි

සමන්ත ඉලේපෙරුම

මානුෂීය මෙහෙයුමෙන් පසු විදේශගතව කොටි සංවිධානය නඟාසිටුවීමට මුදල් එකතු කරමින් ජාත්‍යන්තර ත්‍රස්‌තවාදී ක්‍රියාවල නිරතවීම සම්ම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි ප්‍රබල කොටි සාමාජිකයකුට එරෙහිව නීතිය මගින් කටයුතු නොකරන බවට නීතිපතිවරයාගේ දැනුම්දීම මත කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් කෝසල සේනාධීර මහතා සැකකාර කොටි සාමාජිකයා නිදහස්‌ කරන ලෙසට නියෝග කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතාගේ අත්සනින් යුතුව කල දැනුම්දීමක්‌ අනුව මෙලෙස නිදහස්‌ වූයේ යාපනය ප්‍රලෝපලයිහි පදිංචිව සිට දැනට කැනඩාවේ මොන්ටි්‍රයල්හි පදිංචි නරේන්ද්‍රන් රත්නසභාපති නොහොත් නරේන් නමැති කොටි සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයකි.

ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්‌තවාදී ක්‍රියාවල නිරතව සිටින කොටි සාමාජිකයන් සම්බන්ධයෙන් ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය මගින් සිදු කළ විමර්ශනවලට අදාළව තවත් සැකකරුවන් 7 දෙනෙකු සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නියෝග ද නිකුත් කර තිබිණි.

කොටි සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයන් වූ වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් මානුෂීය මෙහෙයුමෙන් පසු ලන්ඩන්, ක්‌වාලාම්පූර්. මොන්ටි්‍රයල්, පැරිස්‌, බැංකොක්‌ හා දිල්ලි යන විදේශයන්හි නගරවල වාසය කරමින් කොටි සංවිධානය නඟාසිටුවීමට අරමුදල් එක්‌රැස්‌ කරන බවට ලද තොරතුරක්‌ අනුව සැකකරුවන්ට එරෙහි මෙහි පරීක්‍ෂණ පැවැත්වේ.

1999 ජනාධිපතිවරණ සමයේදී කොළඹ පුරහලේ පැවැති මහජන රැස්‌වීමේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට පැමිණි කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරිය එවා ඇත්තේ සැකකරු බවත් ඔහු කුමාර පද්මන් නොහොත් කේ. පී. ගේ. සමීපතයකු බවත් ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය සිදු කළ පරීක්‍ෂණ තුළින් අනාවරණය කරගෙන තිබිණි.

කොටි නායක ප්‍රභාකරන් සමඟ සමීපව කටයුතු කර ඇති සැකකරු සතුව තිබූ කොටි සංවිධානයට අයත් කොල්ලුපිටියේ පෞද්ගලික බැංකුවක තැන්පත් කර තිබූ ඇමරිකන් ඩොලර් 410,451.00 ක මුදලක්‌ මෙම විමර්ශන පැවැති කාලයේදී රාජසන්තක කර පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ත්‍යාග අරමුදලට බැර කරන ලෙසට ආරක්‌ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝග කර තිබිණි.

සිද්ධියට අදාළව ඉදිරි ක්‍රියාමාර්ගයන්ට නීතිපති උපදෙස්‌ ලබා ගැනීමට නියමිත තිබූ අතර ඒ අනුව සැකකරුට විරුද්ධව තවදුරටත් නීතිය මගින් කටයුතු කිරීමට අදහස්‌ නොකරන බවත් ඔහු නිදහස්‌ කළ හැකි බවත්, සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා අධිකරණය වෙත දැනුම් දී තිබිණි.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරු නිදහස්‌ කරමින් ඔහුට එරෙහි නිකුත් කර ඇති වරෙන්තු ආපසු කැඳවන ලෙසට නියෝග කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.