ඇල්පිටිය පෞද්ගලික ආයතනයක්‌ අරබා ඇති
විදුලි බලාගාරයේ ඉදිකිරීම්
ජනතා විරෝධය මත අත්හිටුවයි

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

ඇල්පිටිය ඇල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක්‌ මගින් ඉදිකිරීම් ආරම්භ කර ඇති විදුලි බලාගාරයක ඉදිකිරීම් කටයුතු ජනතා විරෝධය මත තාවකාලිකව අත්හිටුවීමට ගාල්ල දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටුව ඊයේ (15 දා) තීරණය කළේය.

ගාල්ල දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මෙම රැස්‌වීම පැවැත්විණි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා මෙම නව විදුලි බලාගාරය ඉදිකිරීම තුළ ප්‍රදේශයේ භූගත ජල මට්‌ටම අඩු වී යැමේ අවධානමක්‌ පවතින අතර මේ පිළිබඳ ප්‍රදේශයේ ජවතාව තුළ දැඩි විරෝධයක්‌ පවතින බව පෙන්වා දෙනු ලැබීය.

මෙම නව විදුලි බලාගාරය පිළිබඳ ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වන තමාව ද දැනුවත් කර නොමැති අතර මේ පිළිබඳ සඳහන් කළ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා මෙය තාවකාලිකව අත්හිටුවා ප්‍රදේaශවාසීන් හා දේශපාලන අධිකාරිය මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව විරෝධතා නොමැති නම් ඉදිකිරීම් කිරීමට අවසර දෙන ලෙස දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටුවෙන් ඉල්ලීමක්‌ කළේය.

මේ අනුව ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා නොවැම්බර් මස පළමුවැනි දින මීට අදාළ සියලු පාර්ශ්ව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැඳවා තීරණයක්‌ ගන්නා තුරු මෙහි ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට උපදෙස්‌ දෙනු ලැබීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.