ලැප්ටොප් එක ගැන සොයද්දී
මිනී මැරුමක්‌ ගැන හෙළිවේ


චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්, එස්‌. පී. ආරියරත්න - රත්මලාන

ලැප්ටොප් පරිගණක සොරකමක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී වසර තුනකට පමණ පෙර සිදුකළ කාන්තා ඝාතනයක සුලමුල ඊයේ (15 වැනිදා) ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු හෙළිකරගෙන තිබේ.

මොරටුව හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු ඇතුළු කල්ලියක්‌ විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පෙදරේරුවන් ලෙස සේවයට ගොස්‌ පසුව එම නිවාසවල වටිනා දේපළ සොරාගන්නා බවට ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති කුමාර නලවංශ මහතාට ලැබුණු තොරතුරක්‌ මත මෙම කල්ලියේ තිදෙනකු අත්අඩංගුවට ගෙන පරිගණක, ඩිජිටල් කැමරා, රන් භාණ්‌ඩ, යතුරුපැදියක්‌ ඇතුළු භාණ්‌ඩ කිහිපයක්‌ පොලිසිය සොයාගෙන තිබිණි.

මෙම සැකකරුවන් වෙන වෙනම ගෙන ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන සැකකරු විසින් හෙට්‌ටිපොල පොලිස්‌ වසමේ 2010 ජනවාරි 21 වැනි දින නිවසක්‌ කොල්ලකෑමට ගොස්‌ එහි සිටි කාන්තාව ඝාතනය කර නිවෙස කොල්ලකා පළාගොස්‌ ඇති බව හෙළිවී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් එම කාන්තාවගේ අනියම් පුරුෂයාව සිටි පුද්ගලයා සැකපිට හෙට්‌ටිපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාස කිහිපයක්‌ රිමාන්ඩ් බාරයට පත්කර තිබේ. මේ වන විට ඔහු ඇප මත සිටියත් ඔහුට එරෙහිව මහාධිකරණයේ චෝදනා ගොනු කිරීමට නියමිතව සිටින බවද පොලිසිය පවසයි.

මෙම ප්‍රධාන සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවකු සමග කාන්තාවගේ නිවස මංකොල්ලකෑමට ගොස්‌ කාන්තාවගේ ගෙල චීත්තයකින් සිරකර නිවස කොල්ලකා පලාගිය බවද පොලිසියට පවසා ඇත. එම අනෙක්‌ සැකකරු ද ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇතැයි පොලිසිය හෙළිකරගෙන තිබේ.

ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ උපදෙස්‌ මත ගල්කිස්‌ස මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කමල් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති කුමාර නලවංශ, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (44753) µයිසර්, (44713) ජයසුන්දර, (89205) පුබුදු, (89138) හර්ෂණ, (67668) කුමාරගම කාන්තා පොලිස්‌ කොස්‌තාපල් (7219) පුෂ්පා, (712) මහේෂිකා යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.