රන් බඩු ලැප්ටොප් ඇතුළු
රු. ලක්‍ෂ 10ක හොර බඩු සමග
කාන්තා කොල්ල කල්ලිය අල්ලයි


හේමන්ත රන්දුණු

කොළඹ ප්‍රදේශයේ ධනවත් පුද්ගලයන්ගේ නිවාසවලට ඇතුළු වී රන් ආභරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු රුපියල් දසලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් දේපොළ සොරාගත් සංවිධානාත්මක කාන්තා සොර කල්ලියක්‌ කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෝදර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තා සොර කල්ලියේ සාමාජිකාවන් අතර මත් කුඩු භාවිතයට තදින් ඇබ්බැහි වූ කාන්තාවක්‌ ද සිටින බව පොලිසිය පවසයි.

කුරුඳුවත්ත වෝඩ් පෙදෙසේ පදිංචි නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයකුගේ මෝටර් රථයක තිබූ ලැප්ටොප් පරිගණකයක්‌ සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේදී මෙම කාන්තා සොර කල්ලිය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

සිව්දෙනකුගෙන් සමන්විත සොර කල්ලියේ සාමාජිකාවන් වයස අවුරුදු 35 ත් 45 අතර වයස්‌ සීමාවල පසුවන කාන්තාවන් බව පැවැසේ. මෙම සැකකාරියන් සොරා ගන්නා ලද රුපියල් දසලෂයකට අධික වටිනාකමෙන් යුත් ලැප්ටොප් යන්ත්‍ර 4 ක්‌, ජංගම දුරකථන ඇතුළු තවත් වටිනා භාණ්‌ඩ රැසක්‌ පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකාරියන් අධිකරණය වෙත ඊයේ (15 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන, කොළඹ දකුණ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහත්වරුන්ගේ උපදෙස්‌ මත කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති කපිල ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්‌ථානාධිපති නලින් ජයසුන්දර, සැරයන් (8242) ජයරත්න, (22974) අබේගුණවර්ධන, (28187) මෙන්ඩිස්‌ ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.