ගාල්ලේ මැණික්‌ ව්‍යාපාරිකයෙක්‌
මහනුවර කාමරයක්‌ තුළ මියගිහින්

තිවංක අභයරත්න - මහනුවර

මහනුවර රජපිහිල්ල මාවතේ ළැගුම්හලක කාමරයක්‌ කුලියට ගෙන සිට ගාල්ල ප්‍රදේශයේ මැණික්‌ ව්‍යාපාරිකයකු එම කාමරය තුළම අභිරහස්‌ ලෙස මියගොස්‌ ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස්‌ ඇත්තේ ගාල්ල මඩහපොල පළමුවන පටුමගෙහි පදිංචිකරුවකු වූ ඩබ්ලිව්. ඩී. චන්ද්‍රසේන (60) නමැත්තාය.

මියගිය පුද්ගලයා මැණික්‌ ව්‍යාපාරික කටයුතුවල නියෑළෙන්නෙක්‌ වන අතර ඔහු වසර දහයක (10) පමණ කාලයක සිට මහනුවර නගරයට පැමිණි විට මෙම ස්‌ථානයේ කාමරයක්‌ කුලියට ගෙන නැවතී සිටින බවත් පසුගිය 12 වැනිදාද සවස ඔහු පැමිණ කාමරය කුලියට ගෙන නවාතැන් ගෙන ඇති බවත් මූලික පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා නවාතැන් ගෙන සිටින දිනවලදී සෑම දිනකම සවස තම කාමර කුළිය ගෙවීම පුරුද්දක්‌ කරගෙන සිටි බවත් 14 වැනි දා සවස ඔහු නොපැමිණි නිසා කාමරය පරීක්‌ෂා කර බැලීමට ගිය අවස්‌ථාවේදී සැකයක්‌ මතුවී ඒ බව පාලන අධිකාරියටද දන්වා පොලිසියේද සහය ඇතිව කාමරය පරීක්‌ෂා කර බැලීමේදී නිදි යහන මතම පුද්ගලයා මියගොස්‌ ඇති බව දැනගත් බව එහි ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

ඊයේ (15 වැනිදා) මහනුවර වැඩ බලන මහෙස්‌ත්‍රාත් චමින්ද ලියනගේ මහතා එම ස්‌ථානයට ගොස්‌ පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව මළ සිරුර වැඩිදුර පරීක්‌ෂණ සඳහා මහනුවර මහ රෝහලට යවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‌ෂණ මහනුවර පොලිසියේ සුළු පැමිණිලි අංශය මගින් පවත්වනු ලබයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.