මාලිංග දකුණු අප්‍රිකාවේ දී දස්‌කම් දක්‌වයි

චැම්පියන්ස්‌ ලීග් ක්‍රිකට්‌ තරගාවලිය යටතේ මුම්බායි ඉන්ඩියන්ස්‌ සහ ලයන්ස්‌ කණ්‌ඩායම් අතර තරගයෙන් කඩුලූ 8 ක පහසු ජයක්‌ අත්කර ගැනීමට ලයන්ස්‌ කණ්‌ඩායම සමත්විය.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්‌බර්ග්හි වොන්ඩරස්‌ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 158 ක ඉලක්‌කයක්‌ හඹා ගිය ලයන්ස්‌ පිල අදාළ ඉලක්‌කය පන්දු 7 ක්‌ ඉතිරිව කඩුලූ 2 ක්‌ පමණක්‌ දැවී රැස්‌ කර ගැනීමට සමත්විය.

ජයග්‍රාහී ලයන්ස්‌ පිල වෙනුවෙන් ඩි කොක්‌ පන්දු 33 කදී (හයේ පහර 2 ක්‌ සහ හතරේ පහර 5 ක්‌) ලකුණු 51 ක්‌ද නීල් මැකෙන්සි පන්දු 41 කදී(හතරේ පහර 12 ක්‌) ලකුණු 68 ක්‌ද ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

මුම්බායි ඉන්ඩියන්ස්‌ පිල වෙනුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රීඩා කළ අතර එහිදී ඔහු යවන ලද පන්දුවාර 3 කුත් පන්දු 5 තුළදී ලකුණු 18 ක්‌ පමණක්‌ ලබා දෙමින් එක්‌ කඩුල්ලක්‌ දවා ගැනීමට සමත්වූවේය.

අවසන් වුණු විස්‌සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයක්‌ ලක්‌වූ ලසිත් මාලිංග සහභාගි වූ තරග 7 තුළදී ලකුණු 207 ක්‌ උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්වීම විශේෂත්වයක්‌ විය. එහිදී මාලිංගගේ පන්දුවාරයකට ලකුණු 8.44 ක ලකුණු වේගයක්‌ රඳවා ගැනීමට එම පිතිකරුවන් සමත් වූ අතර කඩුල්ලක්‌ දවා ගැනීමට මාලිංග සමත්වූයේ ලකුණු 26 ක ආසන්න ලකුණු සංඛ්‍යාවක්‌ ලබාදීමෙන් පසුවය.

තරග 7 කදී කඩුලූ 11 ක්‌ දවා ගනිමින් වැඩිම කඩුලූ සංඛ්‍යාවක්‌ දවාගත් ක්‍රීඩකයන් අතර මාලිංග 11 වැනි ස්‌ථානයේ පසුවිය. විස්‌සයි-20 තරගවල ලොව සිටින භයානකම පන්දු යවන්නා ලෙස මාලිංගව සැලකුවද ලෝක කුසලාන තරගාවලියේදී ඔහුට ඉදිරියෙන් සිටින සෑම පන්දු යවන්නකුම පන්දුවාරයකට මෙන්ම කඩුල්ලක්‌ දවා ගැනීමේදී මාලිංගට වඩා අඩු ලකුණු සංඛ්‍යාවක්‌ ලබාදීම විශේෂත්වයක්‌ වී තිබේ.

ලකුණු සාරාංශය - මුම්බායි ඉන්ඩියන්ස්‌ පන්දුවාර 20 කදී කඩුලූ 6 ට ලකුණු 157 යි(ස්‌මිත් 26, ටෙන්ඩුල්කාර් 16, ෂර්මා 27, ජොන්සන් 30, පොලාර්ඩ් 11, කාර්තික්‌(නොදැවී) 19, ටන්වීර් 31/2)

ලයන්ස්‌ පන්දුවාර 18.5 කදී කඩුලූ 2 කට ලකුණු 158 යි(බෝඩි 19, පීටර්සන් 14, ඩි කොක්‌(නොදැවී) 51, මැකෙන්සි(නොදැවී) 68)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.