මහජන බැංකුවේ "පරිණත"
ඉතුරුම් ගිණුම් හිමියන්ට
ඉන්දියාවේ වන්දනා චාරිකා


ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මහජන බැංකුව හඳුන්වා දී ඇති පරිණත ඉතුරුම් ගිණුම් සඳහා දිනුම් ඇදීම පසුගියදා මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි. එහිදී ජයග්‍රාහකයන් විසිපස්‌ දෙනකු තෝරා ගැනුණු අතර, එම අයට ඉන්දියාවේ වන්දනා චාරිකාවක්‌ යැම සඳහා වරම් හිමිවේ.

ඒ අය අතරින් බෞද්ධ බැතිමතුනට බුද්ධගයාවද, කතෝලික බැතිමතුනට වේලක්‌කන්නි වෙතද, හින්දු බැතිමතුන්ට තිරුපති ද මුස්‌ලිම් බැතිමතුන්ට ඉන්දියාවේ තමන් කැමති සිද්ධස්‌ථානයක්‌ ද වන්දනා මාන කර ගැනීමේ අවස්‌ථාව උදාවේ. මෙම වන්දනා ගමන යැමට අකැමැති අය සඳහා රු. 50,000/- ක මුදලක්‌ ලබාදීමට ද මහජන බැංකුව කටයුතු කරයි. මෙම වන්දනා චාරිකාව මහජන බැංකුවට අනුබද්ධිත පීපල්ස්‌ ට්‍රැවල්ස්‌ ආයතනය විසින් සංවිධානය කරයි.

"පරිණත" ඉතුරුම් ගිණුම් සඳහා දිනුම් ඇදීම ඉදිරියට ද ක්‍රියාත්මක අතර, මේ සඳහා සුදුසුකම් ලැබීමට 2012 දෙසැම්බර් 31 දිනට පෙර පරිණත ඉතුරුම් ගිණුමක රු. 75,000/- ක්‌ තැන්පත් කර එම ශේෂය 2012 ජුනි 30 දක්‌වා පවත්වාගෙන යායුතු වේ. මෙහිදී ද ජයග්‍රාහකයන් 25 දෙනෙකුට ඉන්දියාවේ වන්දනා චාරිකාවක්‌ යැම සඳහා වරම් ලැබේ.

"පරිණත" ගිණුම් සඳහා ලබාදෙන්නේ මහජන බැංකුවේ අනෙකුත් ගිණුම් වලට වඩා වැඩි පොලියකි. රජයේ සහ පළාත් පාලන සේවකයන්ට විශ්‍රාම ණය යෝජනා ක්‍රමයක්‌ ද "පරිණත" ගිණුම යටතේ ක්‍රියාත්මක වේ. සැමියාට සහ බිරිඳට "පරිණත" බද්ධ ගිණුමක්‌ ලෙසද පවත්වාගෙන යා හැක. නමුත් බද්ධ ගිණුමකට ඉහත වන්දනා චාරිකාව සඳහා අවස්‌ථාව ලදහොත් දෙදෙනාගෙන් එක්‌ අයකු ඒ සඳහා ඔවුන් විසින්ම නම් කළ යුතුය.

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම් 1) ජී. ජී. සී. ආරියරත්න මහතා "පරිණත" ඉතුරුම් ගිණුම් සඳහා දිනුම් ඇදීම සිදුකළ අවස්‌ථාව මෙහි දැක්‌වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.