බස්‌නාහිර පළාත් රෝහල් වෛද්‍යවරු අද වැඩ වැරුමක

චමින්ද සිල්වා, එස්‌. පී. ආරියරත්න - රත්මලාන

මොරටුව ලුනාව දිස්‌ත්‍රික්‌ රෝහලේ හෙද නිලධාරිනියක සිය ස්‌වාමිපුරුෂයා හා එක්‌ව එම රෝහලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරිට පහරදී මාසයක්‌ ඉක්‌ම ගොස්‌ ඇතත් නිවැරැදි පරීක්‌ෂණයක්‌ සිදු නොකළැයි බස්‌නාහිර පළාත් සභාව යටතේ පවතින සියලුම රෝහල්වල වෛද්‍යවරුන් අද (17 වැනිදා) වැඩ වර්ජනයක නිරත වේ.

ඉකුත් සැප්තැම්බර් 09 වැනි දින දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරිවරයා විසින් රෝහලේ කාර්ය මණ්‌ඩල අත්සන් පොතේ රතු ඉර සටහන් කිරීම නිසා එයට උරණ වූ හෙද නිලධාරිනිය සිය සැමියා සමග දිස්‌ත්‍රික්‌ වෛද්‍යවරයාගේ නිල නිවසට ගොස්‌ ඔහුට සහ බිරිඳට පහරදුන් බවට මොරටුව පොලිසියට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන දින තුනක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගනු ලැබූවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා නිසි පියවරක්‌ නොගැනීම නිසා මෙම වැඩ වර්ජනය සිදු කරන බව ලුනාව රෝහලේ වෛද්‍ය ප්‍රියාන් සෙනවිරත්න මහතා ඊයේ (16 වැනිදා) පැවසීය.

ලුනාව රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (16 වැනිදා) දිනයේදී ද වැඩ වර්ජනයේ නිරත වූ බවත්, අද දිනයේද නිසි ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට කටයුතු සිදු කරනු නොලැබුවහොත් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡා කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.