විපක්‍ෂයේ ඒකාබද්ධ රැළිය අද හයිඩ් පිටියේ

අජිත් අලහකෝන්

ජාතික භික්‍ෂු පෙරමුණේ නායකත්වයෙන් සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ සහභාගිත්වයෙන් පවත්වන විපක්‍ෂයේ ඒකාබද්ධ රැළිය අද ( 18දා) පස්‌වරු 3.00 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.


විධායක ජනාධිපති ධුරයට සහ එහි අහිතකර ක්‍රියාදාමයන්ට එරෙහිව මෙම රැලිය පවත්වන බවද තමන් ඇතුළු දේශපාලන පක්‍ෂ නියෝජිතයන් රැසකට භික්‍ෂු පෙරමුණ විසින් මේ සඳහා ආරාධනා කර ඇතැයි සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

එක්‌සත් ජාතික පක්‍ෂය මෙන්ම විපක්‍ෂයේ අනෙකුත් දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ටද, මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට ද, ආචාර්යවරුන්, නීතිඥවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු විද්වතුන්ටද බහුජන සංවිධාන නියෝජිතයන්ටද මෙම රැලිය සඳහා ආරාධනා කර තිබෙන බව සරත් ෆොන්සේකා මහතා කීවේය.

විධායක ජනාධිපති ක්‍රමය සහ එහි ක්‍රියාදාමයට එරෙහි වීමට අකැමැති පුද්ගලයන් මෙම රැලියට සහභාගි නොවන බවද කී සරත් ෆොන්සේකා මහතා මෙය සංවිධානය කරන්නේ ජාතික භික්‍ෂු පෙරමුණ මිස තමන් නොවන බවද කීය.

හයිඩ් පිටියේදී අද පවත්වන්නේ සාමකාමී රැලියක්‌ බවද පෙළපාලි හෝ උද්ඝෝෂණ කිසිවක්‌ නොපවත්වන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.