රැස්‌වීමකට සහභාගි වීමේ පුද්ගල අයිතියට විරුද්ධ වීමට කිසිම පක්‌ෂයකට පුළුවන් කමක්‌ නෑ
අස්‌ගිරි මහ නාහිමි

දේශපාලනඥයන් හා පක්‌ෂ නායකයන් දෙන පොරොන්දු බලයට ආවිට ක්‍රියාත්මක කරන්නේ නැහැ
මල්වතු මහ නාහිමි

පොදු විපක්‍ෂයේ රැස්‌වීමට පෙර මහ නාහිවරුන්ගෙන් උපදෙස්‌ පතනවා
කරු ජයසූරිය


කුමන පක්‌ෂයක හෝ කාගේ හෝ වුවත් රැස්‌වීමක්‌ අහන්ට බලන්ට යැමේ අයිතියක්‌ තිබෙනවා. මේ අයිතිය ඕනෑම කෙනෙකුට තිබෙනවා"යි අස්‌ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ එක්‌සත් ජාතික පක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා තමන් වහන්සේ බැහැදුටු අවස්‌ථාවේ ඊයේ (17 දා) පැවැසූහ.

එසේ ඕනෑම රැස්‌වීමකට යැමේ අයිතිය ඔබටත් තිබේ යෑයි අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ කරු ජයසූරිය මහතාට පැවසූහ.

අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් අස්‌ගිරි මහා විහාරයේදී බැහැදකිමින් එක්‌සත් භික්‌ෂු පෙරමුණ සංවිධානය කළ කොළඹ හයිඩ්පිටියේ රැස්‌වීමට සහභාගි වීමට පෙර අනුශාසනාවක්‌ ලබා ගැනීමට පැමිණි බව කරු ජයසූරිය මහතා පැවැසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ එවැනි රැස්‌වීමකට කෙනකු සහභාගිවීම විරුද්ධවීමට කිසිම පක්‌ෂයකට හෝ පක්‌ෂ නායකයකුට පුළුවන්කමක්‌ නැතැයි පැවැසූහ.

දේශපාලන පාක්‌ෂිකයකුට විලංගු දමා තියා ගැනීමට කිසිවකුට පුළුවන්කමක්‌ නැතැයිද මහා නාහිමිපාණෝ පැවැසූහ.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ මහා නායක ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ, කැත්තට පොල්ල වගේ සිට කටයුතු කිරීමට පුළුවන්කමක්‌ නැතැයිද පැවැසූහ.

මහානාහිමිපාණෝ මෙසේ ද පැවැසූහ. ඔබ රජයට එකතුවුණා. තවදුරටත් ඒ විදියට හිටියා නම් අද හොඳ තැනක ඉන්ට තිබුණා. නමුත් ආපසු ඔබේ පක්‌ෂයට ගියා. අද ඔබ එලවා දැමීම සුදුසු නැහැ. මට පක්‌ෂයක්‌ දේශපාලනයක්‌ නැහැ. කියයුතු දේ කියනවා.

මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ අදහස්‌ දක්‌වමින් දේශපාලනඥයන් හා පක්‌ෂ නායකයන් මැතිවරණ කාලයේ පොරොන්දු වන දේ බලයට පැමිණි විට ක්‍රියාත්මක නොකරන බව පැවසූහ.

නමුත් රටක්‌ වශයෙන් දියුණු වීමට නම් කවුරුත් එකමුතු විය යුතු බව උන්වහන්සේ පැවැසූහ.

ජනාධිපති ක්‍රමයත් මනාප ක්‍රමයත් සුදුසු නැති බව එක්‌සත් ජාතික පක්‌ෂයත් මීට වසර කීපයකට පෙරදී කියා තිබෙන බවද මහානායක හිමිපාණෝ පැවැසූහ.

දේශපාලන පක්‌ෂ සංඛ්‍යාව වැඩි වූ පමණින් රටේ ප්‍රශ්න නොවිසඳෙන බව පැවසූ අති පූජ්‍ය මහානායක හිමිපාණෝ සමගියෙන් කටයුතු කිරීම අවශ්‍ය බව පැවසූහ.

කරු ජයසූරිය මහතා අදහස්‌ දක්‌වමින් එක්‌සත් භික්‌ෂු පෙරමුණ සංවිධානය කළ රැස්‌වීමට සහභාගි වුවහොත් පක්‌ෂයෙන් අස්‌කර දමන බව එක්‌සත් ජාතික පක්‌ෂ නායකත්වය පවසන නිසා එම රැස්‌වීමට සහභාගි වීමට පෙර මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ උපදෙස්‌ ලබා ගැනීමට පැමිණි බව කීවේය.

සෙසු ආගමික නායකයන්ගේත් හිතවතුන්ගේත් අදහස්‌ විමසන බවද ජයසූරිය මහතා මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලාට පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීන් වූ රංගේ බණ්‌ඩාර සහ අශෝක අබේසිංහ යන මහත්වරුද තල්පත ධම්මජෝති ස්‌වාමීන්වහන්සේද සහභාගි වුණු මෙම අවස්‌ථාවට හරීන්ද්‍ර දුනුවිල සහ පාලිත ඇල්කඩුව යන මහත්වරුද සහභාගි වූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.