අමුඩ ලේන්සුවේ ගමන් මඟ සහ
ප්‍රශ්න පත්‍රයෙන් ටියුෂන් දීම


පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස්‌ පෙළ විභාගය යන ප්‍රධාන විභාග තුන පැවැත්වීමට සතියකට පෙර ඒ විභාගවලට අදාළ ටියුෂන් පන්ති, සම්මන්ත්‍රණ සහ සාකච්ඡා තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙයට ප්‍රධාන හේතුව මෙම විභාග පැවැත්වීමට පෙර ඒවාට අදාළ ප්‍රශ්න පත්‍ර ටියුෂන් මාස්‌ටර්ලා වෙත පිට නොවන බවට ආණ්‌ඩුවට 'ෂුවර් එකක්‌' නැති වීමය. විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න පත්‍රයක්‌ පන්නා ගැනීම යනු පණ යන වැඩකි. 1970 ගණන්වල ප්‍රශ්න පත්‍රවල සෝදුපත් හෙවත් 'පෲµa' පන්නා ගෙන යමින් සිටි රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ ශිල්පියකුගේ වැඩ තහනම් කරන ලදී. ඉන් පසු ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන කාලයට සේවය නිම වී පිටව යන රජයේ මුද්‍රණාලයේ සේවකයන්ගේ සර්වාංගයම පරීක්‍ෂා කර බලන ලදී. මෙවිට ඔවුහු ප්‍රශ්න පත්‍ර තම ලේන්සුවේ මුද්‍රණය කර ගෙන පිටතට ගෙන ගොස්‌ අලෙවි කළහ. එයත් අසු වූ තැන ලේන්සු ද තහනම් කරන ලදී. ඊළඟට ඔවුහු සුදු පැහැති අමුඩ ලේන්සුවලට මාරු වූහ. අමුඩ ලේන්සුවක සාමාන්‍ය වර්ණය නිල් පැහැයයි. මුද්‍රණාලය තුළදී සරම තුළින් හෙමිහිට අමුඩය ඇදගත් ඔවුහු ප්‍රශ්න පත්‍රයේ පිටපතක්‌ එහි මුද්‍රණය කරගෙන යළි අමුඩය ගසා ගත්හ. අමුඩය තහනම් කළ හැකි ද? නො හැක. එය මනුෂ්‍යයා ශිෂ්ටත්වයට පත් වන විට විලි වසා ගැනීමට පාවිච්චි කළ, පිළියෙන් නිමැ වූ පළමුවැනි ඇඳුම් කිහිපයෙන් එකකි. සිංහලයා යනු පුදුම මිනිසෙකි. ඔහු සමඟ හැරෙන්නට කිසිම ජාතියකට බැරිය. 1900 ගණන්වල සිටි මුද්‍රණ ශිල්පියෝ සුදු සරමේ ඇතුළු පැත්තේ ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කර ගත්හ. ඒ කාලයේ OFF SET නමැති සමතල මුද්‍රණ ක්‍රමය නො තිබූ අතර HOT METAL ක්‍රමය නමැති තාක්‍ෂණය විය. මෙය අකුරු අමුණා මුද්‍රණය කළ අතීත මුද්‍රණ ක්‍රමයට සමාන ය. මේ ක්‍රමය මගින් ප්‍රශ්න පත්‍ර එකක්‌ වුව මුද්‍රණය කර ගත හැකි ය. අද තිබෙන OFF SET යන්ත්‍රවලට ඇඳ සිටින සරම දැමුවොත් එහා පැත්තෙන් එළියට එනු ඇත්තේ මිනිහා පිටින්ම ය. ඔහු ගණනට තැළී මුද්‍රණය වී ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයට කැපී යන්ත්‍රය මුල ඇති කුඩා වේදිකාව මතට ගොඩ ගැසෙනවා ඇත.

මේ රටේ 'බඩු' පිට නො වන්නේ සල්ලි අච්චු ගසන කොම්පැනියෙන් පමණි. අනෙක්‌ හැම ආරක්‍ෂිත ස්‌ථානයකින් ම 'බඩු' පිට වෙයි. ප්‍රධාන විභාගවල ප්‍රශ්න පත්‍ර පිටවීම කොතරම් ආරක්‍ෂා සංවිධාන තිබුණත් වැළැක්‌විය නොහැක. දූෂණය සම්පූර්ණයෙන් ම නැති කළ කිසිදු රටක්‌ ලොව නැත. කළ හැක්‌කේ දූෂණය අවම කිරීම පමණි. පසුගිය කාලයේදී විභාග ඔන්න මෙන්න කියා තිබියදී ටියුෂන් මාස්‌ටර්ලා කිහිපදෙනෙක්‌ විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ බවට කතන්දර පැතිර ගියේ ය. නැත්නම් විභාගය කට මුල තියා ටියුෂන් ගුරුතුමා සාකච්ඡා කළ ප්‍රශ්න පත්‍ර විභාගයට ආවේ ය. ප්‍රශ්න පත්‍රයක්‌ යනු එක්‌ අයකු විසින් සාදනු ලබන්නක්‌ නොවේ. ඒ සඳහා උපදේශක මණ්‌ඩලයක්‌ම සහභාගි වෙති. එක්‌ එක්‌ උපදේශකයා ලවා ප්‍රශ්න පත්‍රය බැගින් හෝ ප්‍රශ්න 5 බැගින් සාදන අතර අවසානයේදී සියලු දෙනාම සෑදූ ප්‍රශ්නවලින් එක බැගින් තෝරා ප්‍රශ්න පත්‍රය පිළියෙල කරනු ලැබේ. මේ අතර තවත් කාරණයක්‌ තිබේ. එනම් පුද්ගලයන් කිහිපදෙනකුට සමාන අදහස්‌ පහළවීමයි. විභාග ප්‍රශ්න පත්‍ර සාදන ගුරු උපදේශක මණ්‌ඩලයේ මොළයට එන ප්‍රශ්න හා සමාන ප්‍රශ්නම ටියුෂන් ගුරුතුමාගේ මොළයටත් එන්නට පුළුවන. ජලය යනු හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන්වල එකතුවක්‌ බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයකු වූ හෙන්රි කැවෙන්ඩිෂ් 1783 දී සොයා ගත්තේ ය. එහෙත් ඔහු ඒ බව කාටවත් කීවේ නැත. මේ අතර ඡේම්ස්‌ වොට්‌ නමැති විද්‍යාඥයා ද එම වසරේම ජලයේ සංයුතිය හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන් බව සොයා ගත්තේය. ඔහු එය ප්‍රසිද්ධ කළේ ය. ඒ අනුව ජලයේ සංයුතිය සම්බන්ධයෙන් අද ඉතිහාස පොත්වල ඇත්තේ ඡේම්ස්‌ වොට්‌ ගේ නමය.

විභාග ආසන්නයේදී සම්මන්ත්‍රණ තහනම් කිරීම ගැන කියන විට අපට මතක්‌ වන්නේ මැතිවරණයට පැය 72 කට පෙර සියලු ප්‍රචාරක ක්‍රියා තහනම් බවට ඇති නියෝගයයි. එහෙත් ඡන්ද අපේක්‍ෂකයා හිතවතුන් බැලීමට ගෙන් ගෙට යමින් ගෙන යන ප්‍රචාරය ආවරණය කිරීමට ඒ නීතියට බැරි ය. එසේම ටියුෂන් ගුරුතුමා ගෙදරට කැඳවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම තහනම් කිරීමට ආණ්‌ඩුවට බැරි ය. එසේ නම් කළ යුත්තේ විභාගයට සතියකට පෙර ටියුෂන් ගුරුවරුන් සහ ටියුෂන් දෙන රජයේ ගුරුවරුන් අල්ලා රිමාන්ඩ් කිරීම ය. අමුඩ ලේන්සුවක් ගිය දුරක තරම!

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.