නිදහස්‌ අධ්‍යාපනයේ නිසිඵල ලැබීමට නම්

ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් සිප් සතර හදාරා පසුව මෙරට අධ්‍යාපන ඇමැතිවරයෙක්‌ වූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන්ගේ කුඩාවිය ගෙවී ගියේ ආර්ථික අපහසුතා වලින් මැදිවූ සමාජ වටපිටාවකය. එවකට ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විදුහල්පතිවරයාව සිටි ඩැරල් දේවගැතිතුමා මෙතෝදිස්‌ත සභාව යටතේ දකුණු පළාත මුල්කරගෙන පාසල් ආරම්භ කරමින් අධ්‍යාපන නවෝදයක්‌ ඇතිකරලීමට විශේෂ උත්සාහයක යෙදුනි. එතුමාගේ ඉලක්‌කය වූයේ දුප්පත් ගැමියන් ජීවත්වන නගරයෙන් බාහිර ගම්මාන වන අතර ආර්ථික අපහසුතා සහ පසුගාමී සාමාජ වටපිටාවක ජීවත් වූ ළමුන්ගේ අධ්‍යාපන කටයුතු නඟාසිටුවීමය.

අධ්‍යාපනය සියලු ජනතාව සතු අයිතියක්‌ බවත්, එයට දුප්පත්කම හෝ සමාජ පසුබිම හරස්‌ විය යුතු නැති බව තම ජීව දත්ත මගින්ම අවබෝධකරගෙන සිටි කන්නන්ගර මැතිතුමා නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය මගින් කිසිදු බේදයකින් තොරව සැමට අධ්‍යාපනයේ දොරටු විවර කරමින් මෙරට සාමාන්‍ය ජනතාවගේ දූදරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්‌වා ගමන් කළ හැකි අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දුන් අතර එමගින් ඈත එපිට පිටිසර ගම් නියම්ගම් වලින් උගතුන් බිහිවීම ආරම්භ වී මෙරට අධ්‍යාපන පුනරුදයක්‌ ආරම්භ විය.

නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙරටට හඳුන්වාදුන් වර්ෂ 1945 දී ඩොලර් 120 ක්‌ වූ මෙරට ඒක පුද්ගල ආදායම වර්ෂ 2011 වන විට ඩොලර් 2,000 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති අතර 1945 දී මෝටර් රථ 5000 ක්‌ පමණ භාවිත වූ මෙරට 2011 දී මෝටර් රථ මිලියන 2 ක්‌ පමණ භාවිත වන රටක්‌ බවට පත්වී ඇත. ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික මෙන්ම සමාජයීය තත්ත්වයද, දැනුමද මේ වන විට සෑහෙන මට්‌ටමකින් ඉහළ ගොස්‌ ඇති බව කුමන භාෂාවෙන් කතාකළද පිළිගත යුතු සත්‍යයකි. 1945 දී ශ්‍රී ලාංකිකයන් තම දරුවන්ට උසස්‌ අධ්‍යාපනයක්‌ ලබාදීමට එතරම් උත්සුක නොවූ නමුත්, අද තම ජීවිතයේ අංක එක ලෙස සලකන්නේ කුමන ක්‍රමයකින් හෝ තම දරුවන්ට දියහැකි උපරිම අධ්‍යාපනය ලබා දීමයි.

කන්නන්ගර මැතිතුමා හඳුන්වා දුන් නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තියේ මහිමයෙන් ඉතා උගත් ශිෂ්‍ය පරපුරක්‌ මෙරටට දායාද වූ අතර සංඛ්‍යා ලේඛන වලට අනුව අ.පො.ස. උසස්‌ පෙළ විභාගයෙන් සියලු විෂයන් සමත් වී විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ලක්‍ෂයක්‌ පමණ සිසුන් සුදුසුකම් ලබන අතර මෙම සියලු සිසුන්ට ඉංජිනේරු, නීතිය, වෛද්‍ය විද්‍යාව ඇතුළු උපාධි මට්‌ටමේ උසස්‌ අධ්‍යාපනයක්‌ ලැබීම සඳහා සියලු සුදුසුකම් ඇති අතර මෙම ලක්‍ෂයක්‌ පමණ දරුවන්ගේ බුද්ධිය පිළිබඳව කිසිවකුට අඩු තක්‌සේරුවක්‌ කළ නොහැක. නමුත් අපට ඇති එකම බාධකය වන්නේ මෙම ලක්‍ෂයක්‌ පමණ වූ දරුවන්ගෙන් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, නීතිය පමණක්‌ නොව කිසිදු හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්‌ ලැබීමට අවස්‌ථාව ලැබෙනුයේ 20,000 කට ආසන්න වූ ප්‍රමාණයකට පමණි. 80,000 ක්‌ පමණ වූ දරුවන්ට මෙරට උසස්‌ අධ්‍යාපන අයිතිවාසිකම් නොලැබී යැම මගින් නිදහස්‌ අධ්‍යාපනයේ ඵලයන් වූ 80,000 ක්‌ පමණ වූ ශිෂ්‍යයන් මුහුණදෙන ෙ€දවාදචකය ගැන තමන් බුද්ධිමතුන්, විද්වතුන් යෑයි කියාගනිමින් නොයෙකුත් සංවිධාන පිහිටුවාගෙන සිටින ඊනියා බුද්ධිමතුන්ගේ සහ විද්වතුන්ගේ කුඩා මොළවලට තේරුම් යා යුතුය. ඉහත කී 80,000 ක්‌ පමණ වූ නිදහස්‌ අධ්‍යාපනයේ ඵල විනාශ කරනවාද නෙළාගන්නවාද යන්න මෙරට සමාජය පුළුල් කතිකාවතකට භාජනය කළ යුතු කරුණක්‌ වන අතර මෙම අසූ දහසක්‌ වූ උසස්‌ පෙළ සමතුන්ට කුමන ක්‌ෂේත්‍රයක හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්‌ ලබා දීමට අඩුම තරමේ මෙරට තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පස්‌ ගුණයකින් වත් වැඩිකළ යුතුව ඇත. එහිදී යටිතල පහසුකම් වලට ගොඩනැඟිලි ඊට අවශ්‍ය ජල විදුලිය, සන්නිවේදනය, මහාචාර්යවරයාගේ සිට සුලු සේවකයා දක්‌වා වූ විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන සේවකයන් ඇතුළු සියලු සම්පත් අයත් වන අතර එය ශ්‍රී ලංකාව වැනි අඩු ආර්ථික මට්‌ටමක පවතින රජයකට පමණක්‌ කළ හැකිද යන්න මා ඉහත කී ඊනියා බුද්ධිමතුන් සහ ඊනියා විද්වතුන් තම හෘදය සාක්‍ෂියට එකඟව තේරුම්ගත යුතුව ඇත.

උපාධියක්‌ ලැබූ පමණින් හෝ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වූ පමණින් යමෙකු විද්වතකු හෝ බුද්ධිමතකු නොවන අතර එය තීරණය කරනු ලබන්නේ ජන සමාජය විසිනි. එවැන්නක්‌ තේරුම් ගැනීමට හැකි ජන විඥනයක්‌ සහිත ශ්‍රී ලාංකිකයන් නිදහස්‌ අධ්‍යාපනයේ මහිමයෙන්ම බිහිවී ඇති අතර එවන් විද්වතුන් මෙරට ජන විඥනය මගින්ම හඳුනාගෙන ඇති අතර ඉන් කිහිපදෙනෙකුගේ නම් නිරායාසයෙන්ම සිහිපත් කළ යුතුව ඇත. මහාචාර්ය සෙනරත් පරණ විතාන, ආචාර්ය ඊ. ඩබ්. අධිකාරම්, මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කාලෝ ෙµdන්සේකා, දොස්‌තර ආර්. එස්‌. එස්‌. ගුණවර්ධන, මහාචාර්ය ගුණපාල මලලසේකර හා එවන් මෙහි නම් සඳහන් නොකළ තවත් අතලොස්‌සක්‌ විද්වතුන් මෙරට ජන සමාජය විසින් හඳුනාගෙන ඇත. එසේ හඳුනාගන්නේ ඔවුන් තමා නියෑළුණු ක්‌ෂේත්‍රය පමණක්‌ නොව මෙරට ඉතිහාසය, කලාව, සාහිත්‍යය, ගෝලීය සමාජයේ සමාජ, ආර්ථික, අධ්‍යාපනික ක්‌ෂේත්‍ර වල වර්ධනයන් සහ ප්‍රවණතා දේශීය ජන සමාජයේ සිදුවිය යුතු සංකල්පමය මෙන්ම සමාජයීය අවශ්‍යතා පිළිබඳව පුළුල් මනසකින් යුතුව තම මව්බිමේ උන්නතිය සඳහා මෙහෙයක්‌ කළ පුද්ගලයන් වන බැවිනි.

ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන් ඉහත නම් සඳහන් උගතුන් සහ විද්වතුන්ට වඩා වෙනස්‌ කෝණයකින් මෙරට අධ්‍යාපන ක්‌ෂේත්‍රය තුළින් සමස්‌ත ලාංකික ජනතාවට විශාල සේවයක්‌ කළ අතර ඔහු අද ජීවත්ව සිටියා නම් තමා හඳුන්වා දුන් නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ඵලයන් ලෙස අධ්‍යයන පොදු සහතිකපත් උසස්‌ පෙළ විභාගයෙන් සමත් වන අසූ දහසක්‌ පමණ වන නොඑසේ නම් සමස්‌ත ප්‍රතිශතයෙන් 80% ක්‌ පමණ වූ දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්‌ නොලබන තත්ත්වයක්‌ උදාවීම ගැන මහත් කම්පනයට පත්වනු ඇත.

මා ඉහත සඳහන් කළ ඊනියා බුද්ධිමතුන් සහ විද්වතුන් තමන් පැළඳ සිටින පාට කණ්‌ණාඩිය ඉවත් කර ලෝකය දෙස බැලිය හැකි පැහැදිලි කණ්‌ණාඩියක්‌ පැළඳ ලෝකයේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය, විශේෂයෙන් පෙර සමාජවාදී කඳවුරේ සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින ප්‍රවණතාත් බටහිර ලෝකයේ සහ දියුණුව කරා යමින් සිටින ඉන්දියාව, මැලේසියාව, බ්‍රසීලය, වියට්‌නාමය වැනි රටවල් දෙස බලා එකී රටවල් අත්පත් කරගෙන ඇති අධ්‍යාපනික දියුණුව පිළිබඳව බැලිය යුතුව ඇත.

අප තේරුම් ගත යුතු සත්‍යයක්‌ වන්නේ මෙරට විශ්වවිද්‍යාල පද්ධති පස්‌ ගුණයකින් වැඩිකර විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සියලුම දරුවන්ට උසස්‌ අධ්‍යාපනය දීම පවත්නා රජයකට කිසිසේත්ම කළ නොහැක්‌කක්‌ වන අතර එවැන්නක්‌ අද ලෝකයේ කිසිදු රටක සිදු නොවන බව මෙනෙහි කළ යුතුය.

ඉහත සඳහන් කළ පෙර සමාජවාදී කඳවුරේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල් පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් උසස්‌ අධ්‍යාපන පහසුකම් ලබා දෙන අතර එසේ අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි දරුවන් වෙනුවෙන් තවදුරටත් ඉතා ශක්‌තිමත්ව රාජ්‍ය මැදිහත්වීම මගින් අධ්‍යාපන පහසුකම් සලසා දෙනු ලබයි.

ලෝක මානව හිමිකම් ප්‍රඥප්තියේ 26 වැනි පරිච්ඡේදයේ ඉතා පැහැදිලි ලෙස අධ්‍යාපනය ලැබීම මූලික මිනිස්‌ අයිතිවාසිකමක්‌ බව පිළිගෙන ඇති අතර අඩුම වශයෙන් මූලික අධ්‍යාපනය නිදහස්‌ අධ්‍යාපනයක්‌ විය යුතු බවත් එය අනිවාර්ය විය යුතු බවත් සඳහන් වේ. එම ප්‍රඥප්තියේ වැඩිදුරටත් සඳහන් වන්නේ තම දරුවන්ට දිය යුත්තේ කුමන අධ්‍යාපනයක්‌ද යන්න තීරණය කිරීම පිළිබඳව දෙමාපියන්ට මූලික අයිතියක්‌ ඇති බවයි. උසස්‌ පෙළ සමත් එහෙත් දේශීය රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වරම් නොලබන දරුවකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉල්ලා හඬන විට එය දරා සිටීමට කුමන දෙමාපියකුට හෝ නොහැකි බව අප අවබෝධ කර ගත යුතුව ඇත. එහි අවසාන ප්‍රතිඵලයක්‌ වන්නේ තමන් සතු දේපළ උකස්‌කර හෝ විකුණා දමා හෝ උසස්‌ අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටකට යෑවීමට ඔවුන් පෙළඹීමයි. එහි කිසිදු වරදක්‌ අපට දැකිය නොහැක.

මෙරට දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වර්ෂයකට 10,000 ක්‌ පමණ විදේශගත වන බව මහ බැංකු වාර්තා සනාථකරන අතර ඉන් 500 ක්‌ පමණ දරුවන් වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා පමණක්‌ විදේශගත වේ. ඔවුන්ගෙන් ඇමරිකාව, එංගලන්තය, නවසීලන්තය, ඕස්‌ටේ්‍රලියාව වැනි රටවලට පිටව යන දරුවන් නැවත මෙරටට පැමිණීමේ ප්‍රතිශතය ඉතා අඩු අතර, වෙනත් විද්‍යා විෂයයන් සඳහා යන දරුවන්ගේ තත්ත්වයද ඊට ආසන්න මට්‌ටමක පවතී. මෙසේ විදේශ රටවලට දොaරෙගලන්නේ අපේ නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිඵල බව මා ඉහත කී ඊනියා බුද්ධිමතුන් සහ විද්වතුන් යෑයි කියාගන්නා විශ්වවිද්‍යාල සහ අනෙකුත් ආයතනික සංවිධාන වල සාමාජිකයන් තේරුම්ගත යුතුව ඇති අතර මෙමගින් සිදුවන බුද්ධිගලනය ගැනද තදබල ලෙස සිතා බැලිය යුතුව ඇත. මෙසේ රටින් පිටවන නිදහස්‌ අධ්‍යාපනයේ ඵල විදේශ රටවල් විසින් නෙළාගනු ලබන බවද සිහිපත් කළ යුතුව ඇත. නිදහස්‌ අධ්‍යාපනය හෝ එහි ප්‍රතිපත්ති ගැන හෝ එහි නිර්මාතෘවරයාගේ චින්තනය ගැන කිසිදු දැනුමක්‌ නොමැතිව එය කුලියට ගැනීමට උත්සාහ කරන තැනැත්තන් යථාර්ථය තේරුම්ගත යුතුව ඇත.

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වන්නන්ගේ තත්ත්වයද අප විසින් අවබෝධ කරගත යුතුව ඇත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව මත පළකරන සමහර දේශපාලනඥයන්ගේ දරුවන් ඇමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ හෝ වෙනත් විශ්වවිද්‍යාල වල උගත් අය වන අතර මොවුන්ගේ බොරු ජාතික කැක්‌කුම සහ නිදහස්‌ අධ්‍යාපනයේ භාරකරුවන් වීමට දරණ උත්සාහය කුහක දේශපාලන අවශ්‍යතාවයක්‌ බව අප තේරුම් ගත යුතුව ඇත. මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිවන මා දන්නා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගේ දරුවන් එංගලන්තයේ, ඇමරිකාවේ, ඕස්‌ටේ්‍රලියාවේ, නවසීලන්තයේ සහ හෝ නේපාලයේද අධ්‍යාපනය ලැබූ හෝ ලබන අයයි. මෙම සියලුම වෛද්‍යවරුන් නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිඵල ලෙස බිහිවූ අය වන අතර ඔවුන් තේරුම්ගත යුතු කරුණක්‌ වන්නේ මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ බිහිවීමෙන් ඉතා සරු ආර්ථික තත්ත්වයක්‌ ඇති ඔවුන්ගේ දරුවන්ට මෙන්ම මෙරට සාමාන්‍ය ජනතාවගේ දරුවන්ටද වෛද්‍ය අධ්‍යාපනයක්‌ ලැබීමට හැකි වන බවයි. මෙහිදී ඉස්‌මතු වන්නේ නිදහස්‌ අධ්‍යාපන කඩතුරාව තුළ සැඟවී සිටින කුහකත්වය සහ තම ආධිපත්‍යය ආරක්‍ෂාකර ගැනීම බව මොවුන්ගේ හැසිරීම් රටාව දෙස බැලීමෙන් පැහැදිලි වේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීම මගින් වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා විදේශගත වන දරුවන්ට මහඟු සෙතක්‌ සැලසෙන අතර කළ යුතුව ඇත්තේ එම වෛද්‍ය විද්‍යාල වන නිසි ප්‍රමිතිය සහ උසස්‌ අධ්‍යාපන මට්‌ටම් ඇතිකරලීමයි. ඒවාට මුල සිටම අකුල් හෙලීම නොව සියල්ලන්ම කළ යුත්තේ ඒවායේ ප්‍රමිතිය අදාළ පරිසාධන මට්‌ටම් වලට ගෙන ඒමට ජාතික මෙහෙවරක යෙදීමයි. බංග්ලාදේශයේ හෝ නේපාලයේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබන දරුවකු අධ්‍යාපනය ලබනුයේ කුමන තත්ත්වයන් යටතේද යන්න තේරුම් ගැනීම අපහසු නැත. ඊට වඩා දක්‍ෂ බුද්ධිමත් කථිකාචාර්යවරුන්, මහාචාර්යවරුන් අප රටෙහි සිටින අතර මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ ලෝකයේ ඕනෑම දියුණු රටක වෛද්‍ය විද්‍යාලයක මට්‌ටමින් පවත්වාගෙන යැමේ සම්පත් මෙරට තිබෙන බව අප අවබෝධ කරගත යුතු අතර මෙම සම්පත් ආරක්‍ෂා කර ගනිමින් රටේ සහ ජාතියේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට කාලය එළඹ ඇති බව අප තේරුම් ගත යුතුව ඇත.

විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය සංගම් බොහොමයක්‌ම මෙහෙයවනු ලබන්නේ එක්‌තරා වාමාංශික දේශපාලන පක්‍ෂයක්‌ සහ ඉන් කැඩී වෙන්ව ගොස්‌ තිබෙන තවත් කණ්‌ඩායම් වන අතර මොවුන්ගේ හැසිරීම් රටාව තුළින් ශිෂ්‍යයන් හීනමානයෙන් පෙළෙන්නන් බවට පත් කිරීමට යුහුසුළු වන බව පෙනේ. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල කිහිපයක ඉංග්‍රීසි භාෂාව පරිශීලනය කරන ශිෂ්‍යයන්ට අතවර කරමින් ඔවුන් කොන් කිරීමට උත්සාහයන් දැරිය හැකි අතර ඉන් වාමාංශික සංවිධාන බොහෝ විට ශිෂ්‍යයන්ට යථාර්ථය තේරුම් ගැනීමට බාහිර ලෝකයේ ඇතිවන ප්‍රවණතාවයන් අධ්‍යයනය කිරීමට මහඟු උපකාරයක්‌ වන ඉංග්‍රීසි භාෂා දැනුමෙන් ඔවුන් ඈත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ තම මතය ස්‌ථාපිත කිරීම පමණක්‌ වන අතර ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ සිදුවන නව ප්‍රවනතාවයන් සහ වර්ධනයන් පිළිබඳ දැනුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලබාගැනීමෙන් තම ව්‍යාපාර දුර්වල වන බව ඔවුන් නිසැකවම දනියි. මෙම වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාර තම ගුරුකුලය ලෙස සැලකූ රුසියාවේ සහ චීනයේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයන්හි සිදුවන ප්‍රවණතාවයන් සහ වෙනස්‌කම් පිළිබඳව හෝ සිය අවධානය යොමු නොකරන අතර අප විසින් වටහාගත යුතු සත්‍යයක්‌ වන්නේ මෙම පෙර සමාජවාදී කඳවුරේ තිබූ රටවල්ද ඒ ඒ රටවල ආර්ථික මට්‌ටම් වර්ධනය වීමත් සමගම පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිගෙන පවත්වාගෙන යන අතර මුදල් අයකරන මෙම විශ්වවිද්‍යාල මගින් ඉතා විශාල මුදල් සම්භාරයක්‌ උපයා ගන්නා බව තේරුම් ගත යුතුව ඇත. අද මෙරට දරුවන් විශාල වශයෙන් රුසියාවේ සහ චීනයේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල කරා ශීඝ්‍රයෙන් ඇදී යන අතර, මෙසේ එම රටවලට මෙන්ම බටහිර රටවලටද උසස්‌ අධ්‍යාපනය සඳහා ඇදී යන ශිෂ්‍ය සංඛ්‍යාව දස දහසකට ආසන්න වන අතර එමගින් කෙතරම් විදේශ විනිමයක්‌ අධ්‍යාපනය සඳහා මෙරටින් පිටවන බව අප තේරුම් ගත යුතුව ඇත. ලෝක මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 26 වැනි පරිච්ඡේදයට අනුව තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම දෙමාපියන් සතු අයිතියක්‌ බව ඉතා පැහැදිලිව පිළිගෙන ඇති අතර ඒ සඳහා කිසිවකුට විරුද්ධ විය නොහැකි මෙන්ම අප රටේ නුපුහුණු ගෘහ සේවිකාවන්, කම්කරුවන්, ශ්‍රමිකයන් සහ උගතුන් විදේශ විනිමය වශයෙන් මෙරටට එවනු ලබන අති මහත් විදේශ විනිමයෙන් විශාල කොටසක්‌ මෙම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අප විසින් විදේශවලට ගෙවන අතර අඩුම වශයෙන් මෙම විශාල විදේශ විනිමයෙන් ප්‍රමාණවත් කොටසක්‌ හෝ මෙරට නවතා ගැනීමට නම් ප්‍රමිතියෙන් යුත් විශ්වවිද්‍යාල මෙන්ම වෛද්‍ය විද්‍යාලද, අනෙකුත් උසස්‌ අධ්‍යාපන ආයතනද මෙරට ඇතිකළ යුතු බව වටහා ගත යුතු අතර අද ලෝකයේ පවතින ප්‍රවණතා අනුව පෞද්ගලික අංශයේ දායකත්වය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව මෙම ඊනියා ව්‍යාපාර මෙන්ම සංගම්ද තේරුම්ගත යුතුව ඇත.

වර්ෂ 1977 සිට 1983 දක්‌වා මා මැදපෙරදිග රටක්‌ වූ ඕමානයේ සේවය කළ අතර එම කාල පරිච්ඡේදය තුළදී අපේ අසල්වැසි ඉන්දියාව ඉතාමත් දූරදර්ශී මෙන්ම අද ඔවුන් අත්විඳින දැවැන්ත ආර්ථික වර්ධනයට දායක වූ ප්‍රතිපත්තිමය තීන්දුවක්‌ ගන්නා ලදී. එනම් ගෘහ සේවිකාවන් විදේශ රටවල රැකියා සඳහා යැමත්, නුපුහුණු කම්කරුවන් යෑවීමත් නතර කිරීමට තීරණය කරන ලද අතර ඉන්දියානු රජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සහ අනෙකුත් විශ්වවිද්‍යාල සඳහා පුළුල් ලෙස දොරටු විවර කළ අතර මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඒ වන විට අඩු ප්‍රමිතියකින් තිබූ ඉන්දියානු විශ්වවිද්‍යාල සහ වෛද්‍ය විද්‍යාල වලට නීති රෙගුලාසි පනවමින් ඒවා ඉහළ ප්‍රමිතියකට ගෙන ආ අතර විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෛද්‍ය විද්‍යාල වලට විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් සමත් වන ඉන්දියානු ශිෂ්‍යයන් එක්‌තරා ප්‍රමාණයක්‌ ඇතුළත් කර ගත යුතු බවට නීති රෙගුලාසි පනවමින් ඉන්දියාවේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය පුළුල් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් තොරතුරු තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ අනෙකුත් ක්‌ෂේත්‍ර වල විශාල පිබිදීමක්‌ ඉන්දියාවේ ඇතිවූ අතර අද ඔවුන් ඵල නෙලාගන්නේ එම ප්‍රතිසංවිධාන වල ප්‍රතිඵල වන අතර අද ඉන්දියාව ගෘහසේවිකාවන් වෙනුවට උගතුන් ලෝකයට සැපයීම කරනු ලබයි.

වර්ෂ 1983 පමණ වන විට ඕමාන් රාජ්‍යයේ රෝහල් වල 80% ක්‌ පමණ වෛද්‍යවරුන්, පරිපූරක වෛද්‍යවරුන් සහ පුහුණු කාර්මිකයන් ඉන්දියානුවන් විය. මෙය ඕමානයට පමණක්‌ සීමා නොවන අතර අද මැදපෙරදිග සියලු රටවල ඉහළ තාක්‍ෂණික තනතුරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන්, වෛද්‍යවරුන්ගෙන් 75% කට වඩා ඉන්දියානු ජාතිකයන් සේවය කරන අතර ඊට අමතරව බොහෝ රටවල එනම් ඇමරිකාව, කැනඩාව, ඕස්‌ටේ්‍රලියාව සහ යුරෝපයේ බොහෝ රටවල ඉහත කී ආකාරයට ඉන්දියානු ජාතිකයන් උසස්‌ රැකියාවල යෙදී සිටී. මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකිරීම මගින් වෛද්‍ය ක්‌ෂේත්‍රයේ අතිරික්‌තයක්‌ ඇතිවී වෘත්තීය පහළ මට්‌ටමකට ඇද වැටේ යෑයි ඇති බිය හුදු හුඹස්‌ බියක්‌ පමණක්‌ වන අතර මැදපෙරදිග, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවලත්, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවලත් වෛද්‍යවරුන් සහ අනෙකුත් ඉංජිනේරු, පරිගණක වැනි වෘත්තීමය ක්‌ෂේත්‍ර තුළත් රැකියා අවස්‌ථා විශාල ප්‍රමාණයක්‌ ඇති අතර ඒ ඒ ක්‌ෂේත්‍ර වල නිපුණත්වය ලැබූ දරුවන් මෙරට විශ්වවිද්‍යාල තුළින් කොතරම් බිහිවුවද එය මෙරටට කිසිසේත්ම බරක්‌ නොවන අතර අද ඉන්දියාවේ මහා ආර්ථික ශක්‌තියට එක්‌ පිටුවහලක්‌ වී ඇත්තේ විදේශ රටවල සේවය කරන අති මහත් වූ ඉන්දියානු වෛද්‍යවරුන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවරුන්, පරිගණක ක්‌ෂේත්‍රයේ උගතුන් සහ අනෙකුත් විශේෂඥ දැනුම ඇති ශ්‍රමිකයන් විසින් ඒ රටට එවනු ලබන මහා ධන සම්භාරය හේතුවෙනි.

මෙරට ක්‍රියාත්මක වන ඊනියා ශිෂ්‍ය ව්‍යාපාර, වාමාංශික ව්‍යාපාර, වෛද්‍ය සංගම් සහ අනෙකුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් තම දැස්‌ විවිර කර ලෝකයේ සිදුවන ප්‍රවණතාවයන් අධ්‍යයනය කර මෙරටට සුqදුසු ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල ඇතුළු අනෙකුත් උසස්‌ අධ්‍යාපන ආයතන වලට විරුද්ධව ගෙනයනු ලබන කුහක මෙන්ම ආත්මාර්ථකාමී විරෝධතා වලින් ඉවත් විය යුතු අතර රාජ්‍ය අධ්‍යාපනය සමග සමගාමීව යන්නා වූ පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයක්‌ ඇතිකරලීම සඳහා පුළුල් ලෙස කතිකාවතකට එළඹිය යුතුව ඇත. නිදහස්‌ අධ්‍යාපනයේ නිසි ඵල නෙලාගත හැකි වන්නේ එමගින් බව අප සාක්‍ෂාත් කර ගතයුතු අතර මෙම කරුණේදී මෙරට කිසිම දරුවකුගේ අධ්‍යාපන උන්නතියට හානියක්‌ නොවන ආකාරයෙන් සියලුම දරුවන්ට විශේෂයෙන්ම උසස්‌ පෙළ සමත්ව විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන සියලුම දරුවන්ට උසස්‌ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා දොරටු විවර කළ යුතුව ඇත.

අධිනීතිඥ - එච්. කේ. චන්ද්‍රසිරි ද සිල්වා
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.