පක්‍ෂය දුර්වල කළ නොහැකි නිසා හයිඩ් රැලියට ගියේ නෑ
- කරු ජයසූරිය



එක්‌සත් ජාතික පක්‍ෂය තවදුරටත් බෙදා දුර්වල කිරීමට හේතුවන පියවර ගැනීමට තමන්ට නොහැකි බැවින් හයිඩ් පිටියේ රැලියට තමන් සහභාගි නොවූ බව එජාප හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා කියා සිටී.

එක්‌සත් භික්‌ෂු පෙරමුණ විසින් හයිඩ් පිටියේ දී ඊයේ (18 දා) පවත්වන ලද රැලියට සහභාගි නොවීම ගැන හේතු පහදමින් කරු ජයසූරිය මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

වැදගත් දේශපාලන තීරණ ගැනීමේදී මම ප්‍රතිපත්තියක්‌ ලෙස, එම තීරණය කෙරෙහි බලපෑමක්‌ සිදු කෙරෙන මගේ දේශපාලන සගයන්, හිතවත් පාක්‍ෂිකයන් සහ බෙහෙවින්ම වැදගත් බෞද්ධ භික්‌ෂුන් වහන්සේලා සහ අනිකුත් ආගමික නායකයන්ගෙන් මාගේ තීරණය පිළිබඳව එම අයගේ මතය විමසා බැලීම පුරුද්දක්‌ ලෙසම සිදු කරන්නෙමි. එසේ සිදු කරන්නේ ඔවුන් වෙතින් ලැබෙන උපදේශය කිසි විටෙකත් මා වැරැදි මඟක නොයවන බවට මා තුළ පවතින විශ්වාසය නිසාවෙනි. මෙම තීරණය ගැනීමේදී පසුගිය දින කිහිපය තුළ මා මාගේ හෘද සාක්‌ෂිය සමග පොර බදමින් සිටි අවස්‌ථාවේදී මෙම සියලුම දෙනා විසින් මා වෙත දක්‌වන ලද අසීමිත ආදර කරුණාව පිළිබඳව මා තුළ පවතින්නේ අසීමිත කෘතඥතාවකි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉල්ලමින් පැවැත්වෙන
රැලියට සහභාගි වන ලෙස එක්‌සත් භික්‌ෂු පෙරමුණ විසින් මා වෙත ආරාධනය කළ අවස්‌ථාවේදී මෙම කාරණය සඳහා සහයෝගය ලබාදීමට මා තුළ ඒ සම්බන්ධයෙන් අකමැත්තක්‌ නොවීය. මාගේ මතය අනුව විධායක ජනාධිපති ක්‍රමය මෙරටට මහත් අනර්ථකාරී වූවා සේම 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයත් සමගම මෙය ප්‍රජාතන්ත්‍රවාදයට සහ බලය බෙදීම පිළිබඳ සංකල්පයටද එයින් ඇතිවූ අනතුර තවදුරටත් වැඩිවිය. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව වන විපක්‌ෂයේ කොටස්‌ එක්‌ වේදිකාවක්‌ මතට කැඳවා වෙනසක්‌ වෙනුවෙන් හඬ නැගීම සම්බන්ධයෙන් එක්‌සත් භික්‌ෂු පෙරමුණට මාගේ අසීමිත ගෞරවය හා බුහුමන හිමිවෙයි.

මම සැමට පෙර ප්‍රථමයෙන්ම එක්‌සත් ජාතික පාක්‍ෂිකයෙක්‌ වෙමි. මම එක්‌සත් ජාතික පක්‌ෂයේ සභාපති, එක්‌සත් ජාතික පාක්‌ෂික නගරාධිපතිවරයකු, එක්‌සත් ජාතික පක්‌ෂයේ බස්‌නාහිර පළාත් සභා විපක්‌ෂ නායක සහ පක්‌ෂයේ නියෝජ්‍ය නායක ධුරයද දරා ඇත්තෙමි. වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා එක්‌සත් ජාතික පක්‌ෂයේ සාමාජිකයකු වශයෙන් ද මා හට ඡන්දය දුන් ජනතාව විසින් මා කෙරෙහි තබන ලද විශ්වාසය ආරක්‌ෂා කිරීම මාගේ පරම යුතුකම කොට සලකමි. පක්‌ෂය විසින් ගන්නා ලද තීරණය පිළිබඳව මා එකඟ නොවීමට ඉඩ ඇතත්, මා තුළ පවතින එම එකඟ නොවීම පිළිබඳව ප්‍රසිද්ධියේ මාගේ මතය මවිසින් ප්‍රකාශ කරන්නට ඉඩ ඇතත් අවසානයේ දී එක්‌සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය මගින්, ක්‍රියාත්මක කරවන ලද පක්‌ෂයේ බහුතර මතයට හිස නමමි. මාගේ යහපත් හෘද සාක්‍ෂියට අනුව පැහැදිලිවම පෙනී යන පරිදි තවදුරටත් පක්‍ෂය බෙදී දුර්වලවීම සඳහා හේතුවන පියවරයන් ගැනීමට මට හැකියාවක්‌ නැත. එබැවින් බොහෝ දුරට සිතා බැලීමෙන් පසුව මම හයිඩ් පිටියේ පැවැත්වෙන රැලියට සහභාගි නොවීමට තීරණය කළෙමි. තමන්ගේ හෘද සාක්‍ෂියට අනුව ක්‍රියා කරන පක්‌ෂ සාමාජිකයන්ට දඬුවම් පැමිණවීමෙන් හා ඔවුන්ගෙන් පළිගැන්මට කටයුතු කිරීමෙන් වැළකීමටත්, නැවතීමටත්, මාගේ පක්‌ෂය ක්‍රියා කරනු ඇතැයි අපේක්‌ෂා කරමි. යම් ලෙසකින් එසේ පළිගැනීමට හා දඬුවම් පැමිණවීමට ක්‍රියා කළහොත් එය දුර්වල හා කැඩී බිඳීගිය විපක්‌ෂයක්‌ මත ශක්‌තිමත් වී සිටින වර්තමාන ආණ්‌ඩුවේ ඕනෑ එපාකම් ඉටු කිරීමට හේතුවනු ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගෙන යන අරගලය එක දිනකින් අවසන් වන්නේ නැත. මෙම අරගල ව්‍යාපාරය ඉදිරියට ගමන් ගන්නා විට තව තවත්, නිවැරැදි දැක්‌මෙන් යුත් නායකයන් හා රටවැසියන් මෙම අරගලයට එකතු වෙතැයි මම විශ්වාස කරමි. අප රට තුළ මතුවෙමින් තිබෙන ඒකාධිපති නැඹුරුවට එරෙහිව මාගේ ශක්‌ති ප්‍රමාණයෙන් කළ හැකි සියලු දෙය කිරීමට කටයුතු කරමි. විධායක ජනාධිපති ක්‍රමය ආඥදායකත්වයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශය සනිටුහන් කරන පෙර නිමිත්තක්‌ බව මට හොඳින්ම පැහැදිලිය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.