ගොවීන්ට මැහිතෙල් ගහන අනාගත කෘමි ප්‍රජාව

වකුගඩු රෝග නිසා පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ 50000 ක පමණ පිරිසක්‌ මියගොස්‌ ඇතැයි ඊයේ (22 දා) දිවයිනේ ප්‍රාදේශීය මුද්‍රණයෙහි පළවිය. මේ බව හෙළිවී ඇත්තේ එප්පාවල පැවැති ලෝක ආහාර දින විරෝධී රැලියකදීය. 1960 සිට මේ රටේ පැවැති ආණ්‌ඩු රසායනික පොහොර ගෙන්වීමෙන් දේශීය ගොවිතැන විනාශයට පත් වූ බවද මේ නිසා මහපොළොව නිරෝගී තත්ත්වයකට පත්වන සෙයක්‌ නැති බවද එම රැලියේදී සාකච්ඡා විය. මහපොළොව රෝගී නම් ඉන් ලැබෙන පලද රෝගී ය. එම පල අනුභව කරන ජනයා ද රෝගී ය. ජනයා රෝගී වූ විට සමාජය ද රෝගී වන්නේය. එවිට රටම රෝගී වන්නේය.

ඉහත සඳහන් රැස්‌වීමේදී කියන්නට ඇත්තේ රජරට වකුගඩු රෝගය යෑයි සලකා මෙතැන් සිට මේ තීරුව ගොඩනඟනු ලැබේ. රජරට වකුගඩු රෝගයට ප්‍රමුඛ සාධකය එහි ජලයට, කුඹුරුවලට ආසනික්‌ මිශ්‍ර වීම බවට මූලික පිළිගැනීමක්‌ විය. පසුව මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ මේ පිළිබඳ පරීක්‍ෂණයක්‌ පවත්වා රජරටට ආසනික්‌ මිශ්‍ර වී ඇත්තේ කෘමිනාශක මගින් බව ප්‍රකාශයට පත් කළේය. නලින් ද සිල්වාගේ පර්යේෂණයට මූලික වූ පදනම විමසන ලදුව දැන ගැනීමට ලැබුණේ නාථ දෙවියන් වෙතින් ලැබුණ මගපෙන්වීමක්‌ අනුව මෙම තොරතුරු ලැබුණු බවය. එහි විද්‍යාත්මක පදනමක්‌ නැති බවත් විඥනවාදී බවක්‌ කියූ මේ රටේ විද්වත්තු එම වාර්තාව කෙරෙහි සැක පහළ කර නලින් ද සිල්වා මහාචාර්යතුමාට පහර දෙන්නට පටන් ගත්හ. එතැන් සිට අද දක්‌වාම, රජරට වකුගඩු රෝගය ගැන සෙවීමට වඩා නලින් ද සිල්වාට පහර දීමට වැය කෙරුණු කාලය වැඩිය. නාථ දෙවියන් වේවා, සාතන් වේවා, ආලවක යක්‍ෂයා වේවා කවරකු කීවත් කතාව ඇත්ත නම් මොකද?

ශ්‍රී ලංකාව යනු ඉතා බහුලව රසායනික පොහොර පාවිච්චි කරන තුන්වන ලෝකයේ රටකි. ගොයම් ගහක්‌ ගත්තොත් එහි වර්ධනයට රසායනික පොහොර අවශ්‍ය ය. එහි පැවැත්මට කෘමිනාශක අවශ්‍ය ය. රසායනික පොහොර සහ කෘමිනාශකවල අඩංගු සයනයිඩ් කැඩ්මියම්, ඊයම් වැනි ද්‍රව්‍ය කුඹුqරු ජලය හරහා වැව්වලට එකතු වෙයි. එවිට එම වැවේ ජලය පරිහරණය කරන තැනැත්තා වකුගඩු රෝගියෙක්‌ බවට පත් වෙයි. සහල් ආහාරයට ගැනීමෙන්ද වකුගඩු රෝගීහු බිහිවෙති. කසිප්පු ගහන අයට ද වකුගඩු රෝග වැළඳේ. කසිප්පු කාරයා රෝගය හදා ගන්නේ සිය කැමැත්තෙන් නිසා ඒකා ගැන කතා කිරීමෙන් වැඩක්‌ නැත. එහෙත් සහල් අනුභව කරන, වැව් ජලයෙන් ගොවිතැන් කරන සියලුම දෙනා එම රෝගය හදා ගන්නේ කිසිදු කැමැත්තකින් නොවේ. අදටත් මේ රට ඇතුළට එන කෘමිනාශකවල ආසනික්‌, කැඩ්මියම් යනාදිය පරීක්‍ෂා කිරීම හරියාකාරව සිදු නොකෙරෙන බව අපගේ විශ්වාසයයි. මේ රට තුළට දිනපතා එන කෘමිනාශක ප්‍රමාණය ලංකාවේ ඇති ගොයම් ගස්‌ ගණනට වඩා වැඩි විය යුතුය. රූපවාහිනියෙන් කොතරම් නම් කෘමිනාශක ප්‍රමාණයක්‌ ප්‍රචාරය කරන බව ඔබ දන්නේද?

ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික ගොවිතැන වෙත යා යුතු බවට ප්‍රවර්ධන ව්‍යාපාරයක්‌ මේ දිනවල ඇරඹී තිබේ. දේශීය බෙහෙත් වර්ග, කෙම් ක්‍රම, තෙල් වර්ග ආශ්‍රයෙන් කරන කෘමීන් පලවා හැරීම සඳහා මේ රට යළි යොමු විය යුතු බව ඇතැම්හු කියති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.