"ග්ලූකෝස්‌ ස්‌ටි්‍රප්ස්‌" ආනයනයෙන් කෝටි 10 ක වංචාවක්‌

සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරයි


ඒමන්ති මාරඹේ

වාර්ෂිකව රජයේ රෝහල්වලට ආනයනය කළ යුතු රෝගීන්ගේ රුධිරගත සීනි මට්‌ටම මැන බැලීම සඳහා යොදා ගනු ලබන වසර දෙකක ජීව කාලයක්‌ ඇති බ්ලඩ් ග්ලූකෝස්‌ ස්‌ටි්‍රප්ස්‌ ඉදිරි වසර තුන සඳහා (2015 අප්‍රේල් දක්‌වා) ආනයනය කිරීමෙන් වෛද්‍ය සැපයුම් අංශය විසින් රුපියල් දසකෝටියක පමණ මුදල් වංචාවක්‌ සිදුකර ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

මෙරට රජයේ රෝහල්වල වාර්ෂික ග්ලූකෝස්‌ ස්‌ටි්‍රප්ස්‌ අවශ්‍යතාවය පනස්‌හය ලක්‍ෂ හැත්තෑපන්දහස්‌ අටසිය පනහක්‌ (5,675,850) වුවද එමෙන් තුන් ගුණයක්‌ වන ස්‌ටි්‍රප්ස්‌ එක්‌කෝටි දහඅට ලක්‍ෂ අසූදහසක (11,880,000) තොගයක්‌ නියමිත ටෙන්ඩර් පටිපාටිය ද උල්ලංඝනය කරමින් එකවර ඇණවුම් කිරීමෙන් මෙම මුදල් වංචාව සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ. මෙම ග්ලූකෝස්‌ ස්‌ටි්‍රප්ස්‌ තොගය ඇනවුම් කිරීම සඳහා රුපියල් විසිකෝටි හාර ලක්‍ෂ පහළොස්‌ දහසක (200,415,000) මුදලක්‌ වැය වී ඇතැයි එම සම්මේලනය සඳහන් කර සිටී.

මෙම ග්ලූකෝස්‌ ස්‌ටි්‍රප්ස්‌ තොගය හා ග්ලූකෝස්‌ මීටර් 3600 ක තොගයක්‌ ඇණවුම් කිරීම සිදුකර ඇත්තේ තහනම් කරන ලද සැපයුම්කරුවකු හරහා බව සෞඛ්‍ය සේවා සම්මේලනයේ උපලේකම් නජිත් සුමනසේන මහතා "දිවයින" ට පැවසීය. මෙසේ වාර්ෂික අවශ්‍යතාවට වඩා වැඩි ප්‍රමාණයක්‌ අදාළ ස්‌ටි්‍රප්ස්‌ ඇනවුම් කිරීමෙන් එම මිලදී ගැනීම්වලදී ග්ලූකෝස්‌ මීටරයක්‌ වෙනුවෙන් නොමිලයේ ලැබිය යුතු ස්‌ටි්‍රප්ස්‌ ප්‍රමාණය අහිමි කරගෙන ඇතැයි ද රජයේ පිළිගත් මුදල් ප්‍රතිපත්තීන් උල්ලංඝනය කරමින් ඉහළ පෙළේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහාය ලබාගෙන මෙම වංචාව සිදු කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.