කරාපිටිය රෝහලට නව වාට්‌ටු සංකීර්ණයක්‌

ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි - ගාල්ල

ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ දැනට පවතින අධික තදබදයට විසඳුමක්‌ ලෙස නව වාට්‌ටු සංකීර්ණයක්‌ ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති බැව් ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී දොස්‌තර රමේෂ් පතිරණ මහතා පැවසීය.

එම වාට්‌ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 120 ක මුදලක්‌ ඉදිරි (2013) අයවැය මගින් ලැබෙන අතර දැනටමත් මෙය ජාතික සැලැස්‌මට ඇතුළත්කොට ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තවදුරටත් අදහස්‌ දක්‌වමින් රමේෂ් පතිරණ මහතා මෙසේද පැවැසීය.

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පවතින අඩුපාඩු පිළිබඳ නිරන්තරයෙන් මගේ අවධානය යොමු වෙනවා. එම අඩුපාඩු ගැන සෞඛ්‍ය අමාත්‍යංශයේ තේරීම් කාරක සභාවේදීත් කරුණු පැහැදිලි කරනවා. නව වාට්‌ටු සංකීර්ණය ඉදිරිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාද එකඟ වී තිබෙනවා.

එම මුදල ලබන වසරේදී ලැබෙනවා. මේ පිළිබඳ සාකච්ඡාවක්‌ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විමල් ජයන්ත මහතා ඇතුළු නිලධාරීන් සමග කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී පැවැත්වූවා. කරාපිටිය රෝහල සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්‌කරණය කිරීමටත් එය රෝගීන්ට අවශ්‍ය අනෙකුත් සේවාවන් ලබාදීමට හා එම ස්‌ථානය ප්‍රියමනාප ස්‌ථානයක්‌ බවට පත්කිරීමට සැලසුම් කොට තියෙනවා.

එම සැලසුම් වලට ප්‍රතිසංස්‌කරණ කටයුතු ඉදිරි මාසයේදී ආරම්භ වෙනවා. දැනට ක්‍රියාත්මක වන කාන්දුකරණ ඒකකයට වකුගඩු රෝගීන් සඳහා තවත් යන්ත්‍ර දෙකක්‌ ලබාදීමටත් කටයුතු කරනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.