ළිං බද්ද සහ බේ - බද්ද

ළිං බද්දක්‌ අය කිරීමට වාරිමාර්ග සහ ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ගෙන ඇති තීරණයකට ජල සම්පාදන ඇමැති දිනේෂ් ගුණවර්ධන විරෝධය පළ කර ඇතැයි දැනගන්නට තිබේ. මේ රටේ සිටින වැඩි දෙනාට දැනට නොමිලයේ ලැබෙන ද්‍රව්‍ය දෙකක්‌ තිබේ. ඒ, තමන්ගේ ළිඳේ ඇති වතුර ය. ඊළඟට වායු ගෝලයේ ඇති ඔක්‌සිජන්ය. ඒ මනුස්‌සයා නගරයට ආවොත් ඔක්‌සිජන්වලට අමතරව කාබන් මොනොක්‌සයිඩ්, සල්µර් ඩයොක්‌සයිඩ්, මීතේන් වැනි විෂ වායු සමූහයක්‌ ද නොමිලයේම ආශ්වාස කිරීමට ඉඩ ලබා දීමට වායුගෝලය සූදානම් ය. නගරයේ පානීය ජලයෙන් 30% ක්‌ අශූචි සහ වෙනත් අපද්‍රව්‍ය ඇති බව දැනගන්නට ලැබී ඇත. ඒ නිසා නගරයේ ළිංවලින් වතුර බොන මිනිසාට ආණ්‌ඩුව විසින් බද්දක්‌ ගෙවනු ලැබිය යුතුය. කෙසේ හෝ වේවා වසරකට ළිඳකින් ලබාගන්නා ජල ලීටර් පළමුවන ලක්‍ෂයට රුපියල් 7500 ක බද්දක්‌ ගෙවීමට මිනිසුන්ට සිදු වේ. එතැන් සිට පරිහරණය කරන ජලයට වෙනම බද්දකි. මෙසේ ළිඳෙන් ගන්නා ජලය මැන බැලීමට ළිඳට මීටර් හයිකරන්නේ ද නැත්නම් ලීටරයේ මිනුම් කෑන් එකක්‌ අත තබාගෙන නිමල් සිරිපාල ද සිල්වා ළිඳ ළඟ ඉන්නේද යන්න තවම පැහැදිලි නැත. එසේ සිටින අතර ඒ අසරණ මනුස්‌සයා ළිඳට තල්ලු කර මේ ප්‍රශ්නය විසඳිය හැකි බව කෙනකු සිතතොත් එය ලොකු වරදකි. මන්ද, මේවා ආණ්‌ඩුවේ තීරණය. එබැවින් අප ළිඳට තල්ලු කළ යුත්තේ ආණ්‌ඩුවය. කෙසේ වුවද ලීටරයේ මිණුම් භාජන පෙට්‍රල් ෂෙඩ්වල තිබේ. ඔවුන් ඒවා මිලට ගන්නා තැනින්ම ජල කළමනාකරණ අමාත්‍යාංශයට ද ඒවා මිලට ගත හැකිය.

ජලය යනු ස්‌ථිර වශයෙන්ම කළමනාකරණය කළ යුතු දෙයකි. එහිදී මුලින්ම කළමනාකරණය කළ යුත්තේ පාරේ ඇති ටැප් එකය. එය නිතර කැඩෙන බැවින් දවසේ පැය 24 පුරාම වතුර ගලා යයි. ඊළඟට කළමනාකරණය කළ යුත්තේ ආණ්‌ඩුවේ කන්තෝරුවල සහ ආණ්‌ඩුවේ කර්මාන්තශාලාවල ඇති කැඩුණු ටැප්ය. ඊළඟට ඇළ දොළ ගංගා යනාදිය කළමනාකරණය කළ යුතුය. මෙහිදී "කළමනාකරණය" යනුවෙන් අප හඳුන්වන්නේ ගඟ දෙපැත්තේ සිටින දුප්පත් මිනිස්‌සුන්ගෙන් බදු අය කිරීම නොව ගඟ දූෂණය කරන කර්මාන්තකරුවන්ට දඬුවම් කිරීමය. ගඟට අපද්‍රව්‍ය මුදාහරින කර්මාන්තකාරයන්ගෙන් බද්දක්‌ අය කළාට ගඟ පිරිසිදු වන්නේ නැත. විවිධ ඩයි වර්ග සහ අම්ල වර්ග ගංගාවලට මුදාහරින ව්‍යාපාරික කැනහිල්ලු ඕනෑ තරම් සිටිති. එසේම ගංගා අසල ඇති "සර්විස්‌ ස්‌ටේෂන්" කාරයන් වාහන සෝදන, තෙල් මිශ්‍ර වූ අප ජලය ගංගාවලට මුදාහරිති. ඔවුන්ගෙන් දඩ, බදු පමණක්‌ නොව හැකි උපරිමය අයකර ගත යුතුය.

ලංකාව ක්‍රමයෙන් දියුණු වෙමින් පවත්නා රටක්‌ බව ඇත්ත. එහෙත් ගෙවත්තෙහි ඇති ළිඳෙන් ගන්නා වතුර උදෙසා බදු ගෙවීමට තරම් ලංකාව දියුණු නැත. මේ තත්ත්වයට රට පත්වීමට නම් රටේ ඒකපුද්ගල ආදායම වැඩි වී, මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස්‌ විය යුතුය. ප්‍රවාහනය දියුණු වී හැම ගෙදරකටම පෞද්ගලික ප්‍රවාහන පහසුකමක්‌ තිබිය යුතුය. මිනිසුන්ට තුන්වේලම පෝෂ්‍යදායක ආහාර ගැනීමට ද සියලු දෙනාටම අධ්‍යාපනයේ සම අවස්‌ථා හිමිවීම ද තිබිය යුතුය. රටේ හැම කෙනකුටම සෞඛ්‍ය රක්‍ෂණාවරණයක්‌ ලැබිය යුතු අතර රැකියා අපේක්‍ෂකයන්ට රැකියා ලැබෙනතුරු රජයෙන් මාසික දීමනාවක්‌ (ඩෝල් එකක්‌) ලැබිය යුතුය. රටේ ජනගහනයෙන් 75% කටවත් අන්තර්ජාල පහසුකම් තිබිය යුතුය.

ගෙවත්තේ ඇති ළිඳෙන් අවුරුද්දකට රුපියල් 7500 ක බද්දක්‌ ගෙවීමට මිනිසුන්ට හැකිවන්නේ ඒ ආකාරයෙන් ජීවන මට්‌ටම ඉහළ ගිය විටය. ජීවන මට්‌ටම එසේ ඉහළ යන්නේ රටේ දල දේශීය නිෂ්පාදනය වර්ධනය වී ජනයාගේ ඉපැයීම් ඉහළ ගිය විටය. මේ රටේ ඔය කියන එකක්‌වත් නැත.

ආණ්‌ඩුව ඉදිරි අනාගතයේදී මව් කිරි සඳහා ද බද්දක්‌ අය කරනු ඇතැයි එ.ජා.ප.යේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කියා තිබේ. ළිඳෙන් බද්දක්‌ ගැනීමට කල්පනා කරන ආණ්‌ඩුවට එබන්දක්‌ ද සිතුණොත් පුදුම නොවන්න. ඒ අතර මතු අනාගතයේදී ආණ්‌ඩුවට අය කළ හැකි තවත් බදු කිහිපයක්‌ තිබේ. ඉන් පළමුවැන්න දේශපාලන බද්දය. දේශපාලනය කරන හැම කෙනකුම රජයේ ලියාපදිංචි වී බද්දක්‌ ගෙවිය යුතු බව ආණ්‌ඩුවට කිව හැකිය. එසේම සිගරැට්‌ බොන ජනයාගෙන් දුම් බද්දක්‌ අය කළ හැකිය. මත්පැන් පානය කරන බේබදු ජනයාගෙන් බද්දක්‌ අය කළ යුතුය. එයට නමක්‌ නැත්නම් බේ-බද්ද යන්න වඩාත් සුදුසුය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.