දෑස නොපෙනුනත් වැඩිය පාඩු නෑ



මෙම මංගල උත්සවය ඉතා සුවිශේෂී එකක්‌. තම අනාගත සහකරුවා දැස්‌ ආබාධයකින් සිටින බව දැන දැනත් මෙම යොවුන් රූමත් තරුණිය කළේ විශාල කැපකිරීමක්‌ එනිසාම මංගල ඇඳුම්, උත්සව ශාලා, රං ආභරණ, ඡායාරූප, කෑම බිම ඇතුළු සියලු වියදම් අපි දරමින් මහඟු පරිත්‍යාගයක්‌ කළා. මේ සඳහා රුපියල් ලක්‌ෂ 12 ට වැඩි මුදලක්‌ වැය වුණා. රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කරන්නත් අපේ රට බේරා දුන්නු සියලුම රණවිරුවන්ට උපහාර පිණිසත් මෙම සත්කාරය සිදුකළා.

බළන්ගොඩ, පින්නවල, ගුරුබැවිල ගම් ප්‍රදේශයේ දරුවන් පස්‌ දෙනකුගෙන් යුත් පවුලක අංජන කරුණාසිරි තුන්වැන්නාය. නිවස ආසන්නයේම පිහිටි ර/ගුරුබැවිල විද්‍යාලයෙන් අ.පො.ස. (සාමාන්‍ය) පෙළ සමත්වීම දක්‌වා සිප්සතර හැදැරුවත් පවුලේ යම් යම් අගහිඟකම් නිසාම 2008 වසරේදී යුද හමුදාවට බැඳුනේ රටට සේවයක්‌ කරන්නට සිය ජීවිතය වුවද කැපකිරීමේ අදහසත් පෙරදැරි කරගෙනය. නමුත් සටන් බිමේදී සතුරු හමුදා මගින් එල්ල කළ මෝටාර් ප්‍රහාරයෙකින් තුවාල ලබා ජීවිතය රැකුනත් දැසම නොපෙනී ගියේ අනාගත බලාපොරොත්තු සිඳ බිඳ දමමිනි. එහෙත් එම සිද්ධියෙන් සාමාන්‍ය සුවය ලබා වසර කීපයකට පසුව රාගම යුදහමුදා පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ නේවාසිකව විවිධ පුහුණුවීම් සහ ප්‍රතිකාර මත පසුවෙද්දී මොහුගේ දැස්‌ නොපෙනුනත් ඔහුට මග පෙන්වන්නට අනාගතයට අත්වැලක්‌ වන්නට දැස්‌ හොඳින් පෙනෙන රූමත් යුවතියක්‌ මොහු සොයා ඒමට තරම් අංජනට වාසනාව පෑදුනේය. එම කතා පුවත ගැන වැඩි විස්‌තර සොයා බැලීමට පසුගිය දිනක ගුරුබැවිල ප්‍රදේශයේ පිහිටි අංජනගේ නිවසට අපි පියනැගුවෙමු. එහිදී මොවුනගේ විවාහය සිදුවීම දක්‌වා කතා පුවත මෙසේ සනිටුහන් කරමු.
 

අංජන සහ නිරාෂා
ගුරුබැවිලේ නිවස ඉදිරිපිටදී
ඉදිරියේ ඉදිකෙරෙන නව නිවසේ
අනුරුව සමග......

කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ නිරාෂා දුලක්‌ෂි රූමත් හැඩ වැඩ ඇති යොවුන් තරුණියකි. ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්‌වා අධ්‍යාපනය ලබා සිටි අතර විවාහයක්‌ පිළිබඳව මවගෙන් නිතර නිතර සිහිපත් කිරීම් ලැබුණේ මැය කුඩා කලදීම පියා මොවුන් හැර ගොස්‌ සිටි නිසාය. එවිට නිරාෂා කියා සිටියේ මම කවදාහරි විවාහ වෙන්නේ හමුදාවට සම්බන්ධ තරුණයකු සමගි බවයි. ඒ අනුව රාගම රණවිරු සෙවණ ලිපියක්‌ යොමු කරනු ලැබුවේ තවත් සුදුසු තරුණ සෙබළකු සිටී නම් විවාහයට කැමති බව සඳහන් කරමිනි. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මේ වසරේ මැයි මස 10 දා රාගම රණවිරු සෙවනට පැමිණෙන ලෙස දැනුම් දීමක්‌ කර තිබූ බැවින් ඇය සිය මවත් අක්‌කාත් මල්ලීත් සමග එහි යද්දී අත් වාරුවක ආධාරයෙන් ඉදිරියට එන තරුණ සෙබළකු නිරාෂාගේ නෙතට බඳුන් විය. මේ අන් කවරෙකු නොව තම ඉරණම් කාරයා වූ අංජන බව කිසිවෙක්‌ දැන සිටියේ නැත. නිරාෂාගේ දෙනෙත් අංජන වෙත ඇදී ගියත් ඇගේ රුව දකින්නට අංජනට වරම් නොලැබිණි. නමුත් මැයගේ අදහස හා කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුව දෙදෙනා අතර සුහද කතා බහක්‌ ඇති විය. මේ සඳහා යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ සහෝදර සෙබළුන්ගේද ආශීර්වාදය ලද බැවින් දෙපාර්ශවයේම වැඩිහිටියන් කැඳවා මංගල දිනය පවා නියම කර ගැනීමට ගතවූයේ මාස කීපයකි. මේ අනුව ඉකුත් 12 දා ගම්පහ සමාරා උත්සව ශාලාවේදී යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මංගල උත්සවය පවත්වන්නට යෙදුනි. මෙම කාර්යයේදී නිරාෂා සහ අංජන යන දෙදෙනාම ඉතාමත් කෘතවේදීත්වය පළ කරමින් මංගල උත්සවයේ සියලු බරපැන දැරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ ගම්පහ ධනංජය මහතා ගැන අදහස්‌ පළකළ බැවින් ඔහුටද මා දුරකථනයෙන් සම්බන්ධ වී තොරතුරු විමසුවෙමි. එවිට ඔහු කියා සිsටියේ ගම්පහ නගරයේ මංගල උත්සව සංවිධානය කරන අපි වෘත්තියවේදීන්. එහෙත් මෙම මංගල උත්සවය ඉතා සුවිශේෂී එකක්‌.

තම අනාගත සහකරුවා දැස්‌ ආබාධයකින් සිටින බව දැන දැනත් මෙම යොවුන් රූමත් තරුණිය කළේ විශාල කැපකිරීමක්‌ එනිසාම මංගල ඇඳුම්, උත්සව ශාලා, රං ආභරණ, ඡායාරූප, කෑම බිම ඇතුළු සියලු වියදම් අපි දරමින් මහඟු පරිත්‍යාගයක්‌ කළා. මේ සඳහා රුපියල් ලක්‌ෂ 12 ට වැඩි මුදලක්‌ වැය වුණා. රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කරන්නත් අපේ රට බේරා දුන්නු සියලුම රණවිරුවන්ට උපහාර පිණිසත් මෙම සත්කාරය සිදුකළා. ලබන වසරේදීත් මෙවැනි ආකාරයේ මංගල උත්සවයකට බර පැන දරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙම කටයුතුවලට යුද හමුදාවෙන් ලද සහයෝගය අති මහත් බවද ධනංජය මහතා අවධාරණය කළේය.

මෙම තොරතුරු ලබාගන්නට ගිය අවස්‌ථාවේදී රණවිරුවාගේ බිරිඳ වූ යොවුන් මනාලිය කියා සිටියේ මම කතෝලික පවුලක කෙනෙක්‌. සැමියා බෞද්ධ. එහෙත් අපි දෙදෙනාම මෙම ආගම් දෙකටම ගරු කරනවා. මගේ විශ්වාසයක්‌ තියනවා මගේ සැමියා වූ අංජනගේ දැසට ඉදිරියේදී හොඳින් පෙනුම ලැබෙන්නට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවි කියා. අපිට නව නිවසක්‌ තනාදීමටද යුද හමුදාපතිතුමන් ප්‍රතිඥ දී තිබෙනවා. කියමින් එම නිවසෙහි අනුරුව ඉතාමත් ආදරයෙන් දොaතට ගෙන අපට පෙන්වද්දී ඇගේ දැසින් කඳුළු බිඳු කීපයක්‌ කම්මුල් දිගේ රූරා වැටුනේ අංජනගේ දැත මතයි. "සුදු ඇයි එයා අඬන්නේ" යෑයි අංජන අසද්දී මොවුනගේ නව නිවසේ බලාපොරොත්තු මල්පල ගැන්වෙන දිනයට යළිත් අපි එන්නෙමුයි කියා සමුගතිමු.

බළන්ගොඩ එන්. එච්. පියසේන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.