ෆොන්සේකාගේ රැළියේ පණිවිඩය



හයිඩ්පිටියේ පැවැත්වුණු සරත් ෆොන්සේකාගේ රැලිය, මෑත භාගයේ පැවැත්වූ අතිසාර්ථක දේශපාලන රැස්‌වීමක්‌ බව කිව හැකිය. ප්‍රාදේශීය සභාවක අපේක්‍ෂකයකුගේ රැලියකට තරමේ සෙනඟ ප්‍රමාණයක්‌වත් එයට සහභාගි නොවීම හේතුවෙන් එය අසාර්ථක රැලියක්‌ ලෙස කතා බහට ලක්‌ වුවත්, මෑතකදී කිසිදු රැලියකින් අත්කර නොදුන් දේශපාලන ප්‍රතිඵල ගණනාවක්‌ සඳහා එය පාදක විය.

එතැනදී වැදගත් සිද්ධියක්‌ වූයේ කරු ජයසූරිය ය. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පබා හෙවත් උපේක්‍ෂා ස්‌වර්ණමාලිට හා පළමු වරට පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන ලද රුවන් විජයවර්ධනටත් පසුව ඡන්ද ලද කරු ජයසූරිය, ඊටත් එහා යන පරාජයකට හිමිකම් කීවේ මෙම රැලිය හේතුවෙනි.

මුල සිටම, කරු ජයසූරියට අවශ්‍ය වී තිබුණේ මෙම රැලිය සඳහා සහභාගී වීමටය. දයාසිරි ජයසේකර ද කලින් ෆොන්සේකා පිලට බරව සිටියත්, මෙම රැලියට සහභාගි වීමේ උනන්දුවක්‌ හෝ අවශ්‍යතාවයක්‌ ඔහු මුලසිටම පෙන්නුම් නොකළේය. සජිත් ප්‍රේමදාස මුලදී මේ ගැන උනන්දුවක්‌ තිබුණ බව පෙනුණත්, රැලියට දින කිහිපයකට කලින් තමා කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේ තීරණය සමඟ සිටිනා බව කියමින් සිය උනන්දුව අතහැරියේය. නමුත් රැලියට පෙරදාත් කරු ජයසූරිය සිටියේ එයට සහභාගිවීමේ තීරණයේය. එජාපය විසින් ගෙන තිබූ තීරණය නිසා, රැලියට සහභාගි වුවහොත් තම පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වීම නතර කර ගැනීම සඳහා ඔහු යෙදු උපාය වූයේ මහනුවර යැමය. මල්වතු, අස්‌ගිරි මහනාහිමිවරුන් මුණ ගැසී උන්වහන්සේලා වෙතින් තමන්ගේ ගමනට ශක්‌තිය ලබාගෙන ඒ හරහා තමන්ගේ පක්‍ෂ සාමාජිකත්වයට සිදුවිය හැකි හානිය වළකා ගැනීමට කරු උත්සාහ කළේය.

කරුගේ මේ උනන්දුව ෆොන්සේකා පාර්ශ්වයටද ශක්‌තියක්‌ වී තිබුණේය. නමුත් රැස්‌වීම ආරම්භ වීමට පැයකට කලින් එස්‌. එම්. එස්‌. පුවත් මගින් ප්‍රචාරය වූයේ කරු රැලියට සහභාගී නොවන බවය. හයිඩ්පිටියේ රැස්‌ව සිටි පිරිසට මෙම පණිවුඩය කාන්දු වෙත්ම, ඔවුන්ගේ දොaෂදර්ශනයට කරුද ලක්‌විය.

රැලියට සහභාගී නොවන ලෙස එජාප සාමාජිකයන්ට කීම නිසා, මුලදී රනිල්ටත්, රනිල්ගේ තීරණයට එකඟවීම නිසා ඊට වැඩියෙන් සජිත්ටත් අවසාන මොහොතේදී රැලියට සහභාගී නොවන බව කීම නිසා සියල්ලන්ටම වඩා කරුටත් ෆොන්සේකා පාක්‌ෂිකයන්ගෙන් බැණුම් අසන්නට සිදුවිය.

එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස සිටි කරු එයින් මන්ත්‍රීවරුන් 17 දෙනකු රැගෙන ආණ්‌ඩුවේ "දැත් ශක්‌තිමත්" කිරීමට ගියේය. ටික කලකින් තමන් සමඟ ගිය පිරිස ඒ පැත්තේ දමා ආණ්‌ඩුවේ අයවැයටද ඡන්දය දී ඔහු යළිත් එජාපයට පැමිණියේය. ඊට ටික කලකට පසු එජාප නායකත්වය විවේචනය කරමින් ෆොන්සේකා පස්‌සෙන් යන්නට පටන් ගත්තේය. මේ කාලය වන විට කරුට එජාපයේද ආණ්‌ඩුවේද තැනක්‌ තිබුණේ නැත. පසුගිය සතිය වන විට තමන්ට ෆොන්සේකා ළඟ තිබූ තැන ද කරු නැතිකර ගත්තේය. මේ නිසා දැන් කරුට දේශපාලනය කරන්නට තැනක්‌ ඉතිරි වී නැත. තමන්ම කඩයක්‌ කරගෙන තමන්ම එහි බඩු මිලදී ගන්නා ව්‍යාපාරිකයකු හෙවත් "තනි කඩයෙකු" බවට දැන් කරු පත්වී තිබේ.

ඇත්තටම කිවහොත් එදා ෆොන්සේකාගේ රැලියෙන් සිදුවූයේ කරුට දේශපාලනයේ එල්ලී සිටීමට තිබූ එකම කෙන්දද නැතිවී යැමය. හෙවත් කරූ දේශපාලනයේ තනි කඩයෙකු බවට පත්වීමය.

විපක්‍ෂයේ සිටියදී තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ආණ්‌ඩු බලය රැක ගැනීම නොව බල අරගල මඟින් ඇතිවන අභ්‍යන්තර අර්බුදයන්ගෙන් පක්‍ෂය බේරා ගැනීමය. එතැනදී විපක්‍ෂයක්‌ ක්‍රියා කළ යුත්තේ කෙසේද? විනය රකින්නට ගියහොත් බල අරගල ඇතිකරනා කණ්‌ඩායම් එළියට වීසි වී පක්‍ෂය නාය යැම සිදුවේ. එසේ එළියට වීසි වීම නවත්වා ගැනීම සඳහා බල අරගල කරනා කණ්‌ඩායම්වලට විනය පියවර නොගතහොත් අභ්‍යන්තර අරගල මගින් පක්‍ෂය විනාශ වේ. මෙම පටලැවිල්ල තිබියදීත් පක්‍ෂයේ විනය රැකගෙන පක්‍ෂයට ඒකාග්‍රතාවයක්‌ ලබාදීමට රනිල් වික්‍රමසිංහ සමත් විය.

කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තීරණයට පිටුපා ෆොන්සේකාගේ රැලියට සහභාගි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට රනිල් වික්‍රමසිංහ ගත් තීරණය වැදගත් වන්නේ රාජපක්‍ෂ ආණ්‌ඩුවට නැති කොන්දක්‌ රනිල්ට තිබීම නිසාය.

තුනෙන් දෙකේ ආණ්‌ඩු බලයක්‌ තිබියදීත්, තමන්ට ගව් ගණනක්‌ දුරින් වත් තරගයක්‌ දිය හැකි ප්‍රතිවාදියකු නොසිටියදීත්, පක්‍ෂයේ විනය රැකගැනීමේදී ආණ්‌ඩුව දක්‌වන්නේ ලාමක ගතියකි. පක්‍ෂයේ විනය පමණක්‌ නොව රටේ නීතියද උල්ලංඝනය වන තැනක තිබියදී මර්වින් සිල්වා වැනි චරිත තවම යහතින්ය. එවැනි චරිතයකට එරෙහිවය විනය ක්‍රියාමාර්ගයක්‌ ගතහොත් එයින් ජනප්‍රිය වන්නේ ආණ්‌ඩුවය. අනෙක්‌ අතට මෙවැන්නෙක්‌ ආණ්‌ඩුව මත යෑපෙනවා විනා ආණ්‌ඩුවේ කටයුතුවලදී ප්‍රබල දායකත්වයක්‌ දැක්‌වූවෝද නොවෙති. එසේ තිබියදීත් එම මට්‌ටමේ අයකුට එරෙහිව වත් ආණ්‌ඩුව ගත් පියවරක්‌ නැත. විපක්‍ෂයේ සිටියදීත් රනිල් එතැනට නොවැටී විනය ඉදිරියට ගෙන ගත් පියවර අගය කළ යුතුය.

මෙම පියවර එජාපයේ බල පොරයේ සන්ධිස්‌ථානයක්‌ වීමට ඉඩ තිබේ. පක්‍ෂයේ මතයට ගරු කරමින් සජිත්ද රනිල් සමග සිටියේය. සජිත්, රනිල්ට කීකරු වූ බව එයින් නොකියවෙතත් සජිත් තමන්ට අවශ්‍ය තැනට කොටු කර ගන්නට රනිල් දැක්‌වූ සමර්ථභාවය තුළින් බල අරගලය වෙනුවට රනිල්ගේ නායකත්වය පිළිගන්නා තැනකට සජිත්ටද ඒමට සිදුවුණි. කරු කොටු වූයේද එතැනටය.

එජාපයේ අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් ෆොන්සේකා වැනි බාහිර පාර්ශ්ව සමඟ සමහර කණ්‌ඩායම් ගෙන ගිය සබඳතා ද හේතුවෙන් ඇතුළේ ප්‍රශ්නය එළියේ සිටි සමහර පාර්ශ්වද තමන්ගේ බලය සඳහා හසුරුවන තැනකට පත්ව තිබුණි. මෙම තත්ත්වය නිසා පක්‍ෂ අභ්‍යන්තර අර්බුදය තව තවත් තීව්‍ර වන්නට පටන් ගෙන තිබිණි. එය ඔඩු දුවන්නට කලින්ම රනිල් එයට තිත තබා ගත් අතර ඒ සමඟම එළියේ තිබූ බලාපොරොත්තුව අතහැරීම හේතුවෙන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නට හෝ එජාපය අතහැර යන්නට ප්‍රතිසංස්‌කරණවාදීන්ටද සිදුවන තත්ත්වයක්‌ එජාපය තුළ ඇති විය. එසේ නොමැතිව එජාපය සමඟ දිගටම දේශපාලනය කරනවා නම් පක්‍ෂ නායකත්වය යටතේ සාකච්ඡා කර ප්‍රශ්න නිරාකරණය කරගන්නා තැන දක්‌වා ඒමට ප්‍රතිසංස්‌කරණවාදීන්ට දැන් සිදුවී තිබේ. පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමෙන් පසු පාලිත තෙවරප්පෙරුම කියා තිබෙන පරිදි දේශපාලනය නිමා කර ගෙදර යනවාද නැත්නම් පක්‍ෂයත් සමග හිඳ ඉදිරියට යනවාද යන දෙකෙන් එකක්‌ බේරා ගන්නා තැනට එජාපයේ ප්‍රතිසංස්‌කරණවාදීන් පත්වූයේ ෆොන්සේකාගේ රැලිය නිසාය.
ෆොන්සේකාගේ රැලිය විසින් මතු කළ අනෙක්‌ වැදගත්ම කාරණය නම්, මේ වනවිට දේශපාලන පිටියේ ෆොන්සේකාට තිබෙන තැන කුමක්‌ද යන්නයි.
ෆොන්සේකාගේ රැලියට එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහභාගි වී සිටියත් කුසලානය ලකුණෙන් තරග කළ අර්ජුණ රණතුංග හෝ ටිරාන් අලස්‌ එයට සහභාගීවී සිටියේ නැත. කුසලානය ලකුණෙන් තරග කර පාර්ලිමේන්තුවේ සිටින ජ. වි. පෙ. මන්ත්‍රීවරුන් සහභාගි වී සිටියේද නැත.

සරත් ෆොන්සේකාගේ දේශපාලනයේ වර්තමාන ශේෂපත්‍රය හොඳින්ම ඒ තුළ මතුවී පෙනේ. ෆොන්සේකාගේ වුවමනාව වන්නට ඇත්තේ ඊළඟ වාරයේදීද පොදු අපේක්‍ෂකයා වන්නට වුවත් ඒ සියලු සිහින අතහැර විශ්‍රාම ජීවිතය ඔහුට සුවෙන් ගත කරන ලෙස කරන ලද ඇරයුමක්‌ ලෙස දැන් තිබෙන තත්ත්වය තේරුම් ගත හැකිය.

ඊට අමතරව පොදුවේ විපක්‍ෂයටම හොඳ පණිවුඩයක්‌ ෆොන්සේකාගේ රැලියෙන් මතුකර පෙන්වනු ලැබීය. ෆොන්සේකා විසින් රැලිය පවත්වනු ලැබුවේ පොදු විපක්‍ෂයක්‌ මතුකර ගැනීමේ අරමුණ ඇතිවය. ඒ සඳහා ගෙන තිබූ සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. මෙවැනි අහසේ තිබෙන සටන් පාඨ මත කරන අරගල මහ පොළොවේ වලංගු වන්නේ නැත. රට ඉදිරියේ මහජන නායකයින් කිව යුත්තේ රටට දැනෙන සටන් පාඨයන්ය. 2005 මහින්ද රාජපක්‍ෂ ජයග්‍රහණය කළේ රටට දැනෙන, රටේ අවශ්‍යතාවයන් මතුවූ ත්‍රස්‌තවාදය යුද්ධයෙන් පරාජය කරමු, "ඒකීය රාජ්‍ය රැකගනිමු" යන සටන් පාඨය මගින්ය.

නැග තිබෙන ඉණිමගේ ඉහළට යනවා වෙනුවට කොහේ හෝ තිබෙන සටන් පාඨයක්‌ ලොකුවට ලියා ප්‍රසිද්ධ කළ පළියට ජනතාව ඒ තුළට එන්නේ නැත. දැන් රට තුළින් මතුවී තිබෙන සටන් පාඨය වී ඇත්තේ "13 වැනි සංශෝධනය අහෝසි කරමු" යන්නය. එය තමන්ගේ පාඨයක්‌ බවට මේ වනවිට ආණ්‌ඩුව අතට ගෙන තිබේ. යම් හෙයකින් එම ඉලක්‌කයට ආණ්‌ඩුව ගියහොත් එහි ලකුණුද ආණ්‌ඩුවටය. යුද ජයග්‍රහණයේ හිමිකරුවා බවට ආණ්‌ඩුව පත්වූවා සේ එහි තනි අයිතියද ආණ්‌ඩුව දිනාගතහොත් විපක්‍ෂයට සිදුවන්නේ තවත් සෑහෙන කලක්‌ බලා සිටීමටය. හෙළ උරුමය, ජවිපෙ වැනි පක්‍ෂ ඡන්ද බලයෙන් කුඩා වුවද ඒවා ජනතාව අතර පවතින්නේ තීරණාත්මක සටන්වලදී රට පැත්තේ සිටීම හා ජනතාවගේ අවශ්‍යතාවය තුළින් මතුවූ සටන් පාඨ මත දේශපාලනය කරන නිසාය.

දිගින් දිගටම විපක්‍ෂය කළේ මෙම ජනතා අවශ්‍යතාවයට එරෙහිව සිටීමය. නැතහොත් අහසේ තිබෙන සටන් පාඨ බෝඩ්වල ලියාගෙන, එල්ලාගෙන සිටීමය, ඒ වෙනුවට රටේ අවශ්‍යතාවයෙන් මතුවන සටන් පාඨවලට යන ලෙස විපක්‍ෂයට කරන ඉඟියක්‌ බවට ෆොන්සේකාගේ රැලිය පත්වී තිබිණි.

මනෝජ් අබයදීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.