බාල පෙට්‍රල් ආනයනය
හිටපු තෙල් ලොක්‌කන් දෙදෙනකුට නඩු


සමන්ත ඉලේපෙරුම

බාල පෙට්‍රල් ගෙන්වීමේ සිද්ධියට අදාළව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාට හා කළමනාකාරවරයාට එරෙහිව අල්ලස්‌ කොමිසම ඊයේ (23 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ දූෂණ චෝදනා යටතේ නඩු පැවරීය.

කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හමුවේ මෙලෙස නඩු පවරනු ලැබුයේ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේතුමුනි ටයිටස්‌ ටෙනිසස්‌ ජයවර්ධන හා හිටපු කළමනාකරු ගමගේ මුදියන්සේලාගේ උදිත විමලනාත් දොළොස්‌වල නමැති දෙදෙනාටයි.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිදු කරන ලද විමර්ශනයකින් පසු අදාළ පෙට්‍රල් මිලදී ගැනීමට කටයුතු කිරීම, ගොඩබෑමට සහ බෙදා හැරීමට කටයුතු කිරීම මගින් දූෂණයක්‌ සිදුව ඇති බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා දෙක බැගින් ගොනුකර ඇති අතර නඩු භාණ්‌ඩ 36 ක්‌ හා සාක්‌කිකරුවන් 24 දෙනකු නම් කර තිබිණි.

නඩු භාණ්‌ඩ ලෙස ටෙන්ඩර් ගොනු අමාත්‍යාංශ කමිටු තීරණ හා තාක්‍ෂණ ඇගයීම් කමිටු තීරණ වාර්තා මෙන්ම විත්තිකරුවන්ට ඩුබායි සංචාරයක්‌ සඳහා තෙල් ගෙන් වූ සමාගම මගින් එවා තිබූ ලිපියක්‌ද නම් කර තිබිණි. ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් භාණ්‌ඩාගාරයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආදීන් සාක්‍ෂිකරුවන් ලෙස නම් කර තිබිණි.

2011 මැයි මස 03 දාත් 2012 අප්‍රේල් 18 දාත් අතර කාල පරිච්ඡේදයේදී කොළඹදී රජයේ සේවකයකු ලෙස එනම් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් හා වැඩ බලන කළමනාකරු ලෙස සේවයේ යෙදී සිටියදී ආණ්‌ඩුවට අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස හෝ පාඩු සිදු කිරීමේ ෙච්තනාවෙන් ස්‌වකීය ධුරයන් ප්‍රකාරව කිරීමට බලය පැවරී ඇති යම් ක්‍රියාවක්‌ එනම් බී. කේ. 20/2011 අංක දරන ටෙන්ඩරයේ සඳහන් ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ පිරිවිතයෙන් හා නොගැලපෙන ගැසෙලියන් 92 යූ. එන්. එල්. වර්ගයේ බැරල් 163287 ක ප්‍රමාණක්‌ එමිරේට්‌ නැෂනල් ඔයිල් කොම්පැණි ආයතනයෙන් මිලදී ගැනීමට කටයුතු කිරීමෙන් හා ගොඩබෑමට සහ බෙදාහැරීමට කටයුතු කිරීමෙන් අල්ලස්‌ පනතේ 70 වන නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්‌ කළ බවට විත්තිකරුවන්ට එරෙහිව මෙහි චෝදනා ගොනු කොට ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පත්‍ර භාර දෙමින් අල්ලස්‌ කොමිසම කළ ඉල්ලීමක්‌ අනුව ඔවුන්ට චෝදනා පත්‍ර කියවා දීමට ලබන ජනවාරි 22 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි නිකුත් කරන ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.