ජාතික පාසල්වලට විදුහල්පතිවරුන් පත් කිරීමේ
රාජ්‍ය සේවා කොමිසමේ බලය අමාත්‍යාංශය ගනී


නිලන්ත මදුරාවල

ජාතික පාසල්වලට විදුහල්පතිවරුන් පත් කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව (පී.එස්‌.සී) සතු බලතල පවරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේ නව යෝජනාවලියක්‌ සකස්‌ කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමටද අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නව ක්‍රමවේදයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන තෙක්‌ ජාතික පාසල් 92 ක දැන් පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශය විසින් නතර කරනු ලැබ ඇත.

අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවකදී ආණ්‌ඩු පක්‌ෂ මන්ත්‍රීවරුන් එල්ල කළ චෝදනා සහ ඉදිරිපත් කළ අදහස්‌ සැලකිල්ලට ගනිමිනි.

ජාතික පාසල් 92 ක දැන් පවතින පුරප්පාඩු පිරවීමට ඉල්ලුම් පත් කැඳවන්නැයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ වන විට අමාත්‍යාංශයට කර ඇති දැනුම් දීම නොසලකා නව ක්‍රමවේදයක්‌ සකස්‌ කරන තෙක්‌ එම පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ට තවදුරටත් කටයුතු කිරීමට ඉඩ දිය යුතු බවටද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

ජාතික පාසල්වලට විදුහල්පතිවරුන් පත් කිරීම සඳහා බලය ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හෙයින් තමන් ගෙදර ගියත් නීතිය අකුරට ඉටු කිරීමට සිදු වන බව අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ. විදුහල්පතිවරුන් පත් කිරීම සඳහා වෙනත් ක්‍රමවේදයක්‌ අවශ්‍ය නම් නීතිමය වශයෙන් එය අනුමත විය යුතු යෑයිද හෙතෙම සඳහන් කර තිබේ. විදුහල්පතිවරුන් පත් කිරීම සම්බන්ධ ගැටලුවකදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අපහසුතාවට පත් වීමට සිදුවූ බවද ලේකම්වරයා පවසා ඇත.

නව ක්‍රමවේදයක්‌ සකස්‌ කර ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට තීරණය වී ඇත්තේ ඉන් පසුවය.

බණ්‌ඩාරවෙල විශාඛා සහ ගාල්ල විද්‍යාලෝක යන ජාතික පාසල්වලට විදුහල්පතිවරුන් පත් කිරීමේදී පසුගිය දිනවල උද්ගත වූ තත්ත්වය ගැනද මෙහිදී සාකච්ඡාවට භාජන කර තිබේ. විභාග සමත් විදුහල්පතිවරුන් සිටියද ඇතැම් පාසල්වල පරිපාලනය පිරිහී ඇති බවද ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.

දැනට පවතින නීතිමය තත්ත්වය අනුව ජාතික පාසලක විදුහල්පති ධුරය හිස්‌ වුවහොත් ඒ සඳහා අයෑදුම්පත් කැඳවන ලෙස අමාත්‍යාංශයට දැනුම් දිය යුත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවය. අයෑදුම්පත් කැඳවා සම්මුඛ පරීක්‌ෂණයෙන් සුදුස්‌සකු නිර්දේශ කිරීම අමාත්‍යාංශයේ වගකීමකි. පසුව එම සුදුස්‌සා විදුහල්පති ධුරයට පත් කිරීමේ බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.