අර්බුදයට හේතුව පාලනය කළ නොහැකි කරුණු
- තෙල් සංස්‌ථාව කියයි

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් ආනයනයට බාධා පැමිණියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට පාලනය කළ නොහැකි කාරණා හේතුවෙන් මිස, සපුගස්‌කන්ද පිරිපහදුව සම්බන්ධ කුමන්ත්‍රණ නිසා නොවේ යෑයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ එල්. ඊ. සුසන්ත සිල්වා මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය මෙසේය.

ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව පනවා ඇති අපනයන තහංචි ඇතුළු ආර්ථික සම්බාධක හේතුවෙන් සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් ආනයනය ප්‍රමාදයට ලක්‌ව ඇත.

එහෙත් තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොර තෙල් තොගයක්‌ හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථා පාලනාධිකාරිය මේ වන විටත් කටයුතු කරමින් සිටින අතර එම උත්සාහය ව්‍යර්ථ වුවහොත් ඉදිරි සති දෙක සඳහා සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කාර්යයන් නතර කිරීමට සිදු වේ. එම කාලය තුළ පිරිපහදු කාර්ය මණ්‌ඩල අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කීපයක්‌ සඳහා යෙදවීමට ද සැලසුම් කර ඇත.

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව සඳහා වඩාත් යෝග්‍ය වන්නේ ඉරානියන් ලයිට්‌ බොරතෙල් වන හෙයින් එම බොරතෙල් මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව විශේෂ පරිශ්‍රමයක්‌ දැරීය. එහෙත් බොරතෙල් අපනයනය සම්බන්ධයෙන් මෑතකදී ඉරානයට එරෙහිව පැනවූ තහංචි සමඟ එම පරිශ්‍රමයන් යම් පමණකට අඩාල වී ඇත. එහෙත් ඉරානියන් ලයිට්‌ බොරතෙල් ආනයනය සම්බන්ධව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව මේ වන විටත් කටයුතු කරමින් සිටී.

ඉරානයෙන් බොර තෙල් ආනයනයට බාධා පැමිණි වහාම සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොර තෙල් වෙනත් මූලාශ්‍ර වෙතින් මිලදී ගැනීමට ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව පියවර ගන්නා ලදී.

ඒ අනුව මිලදී ගැනීමට දැනට උත්සාහ ගන්නා බොරතෙල් තොගයට අමතරව නොවැම්බර් හා දෙසැම්බර් මාස සඳහා සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් ප්‍රමාණවත් පරිදි ආනයනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව මේ වන විටත් ඇණවුම් කර ඇත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කෙරෙන බොර තෙල් තොගයක්‌ නොවැම්බර් මස මුලදී මෙරටට ලැබීමට නියමිත අතර, ඇරබියන් ලයිට්‌ බොරතෙල් තොගයක්‌ ද ආනයනය කිරීම සඳහා මේ වන විට ඇණවුම් කර ඇත. එම තෙල් තොගය රැගත් නෞකාව ද ලබන මස මෙරටට පැමිණීමට නියමිතය.

ඒ අනුව ඉදිරි මාස දෙක තුළදී අඛණ්‌ඩව තෙල් පිරිපහදුවේ පිරිපහදු කාර්යයන් ක්‍රියාත්මක කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව පියවර ගෙන ඇත.

තවද සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ආනයනයට බාධා පැමිණියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට පාලනය කළ නොහැකි හේතු සාධක හේතුවෙන් මිස ඇතැමුන් පවසන පරිදි සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව සම්බන්ධ කුමන්ත්‍රණ හේතුවෙන් නොවේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.