ලෙබනන්හි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හදිසි සැලසුමක්‌

කීර්ති වර්ණකුලසූරිය

ලෙබනනයේ පවතින තත්ත්වය තවදුරටත් අයහපත් වුවහොත් එරට වෙසෙන 80,000 ක්‌ වූ ශ්‍රී ලාංකිකයන් ඉවත්කරගෙන යැමේ හදිසි සැලසුමක්‌ සකස්‌ කරන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග ඊයේ (23 දා) පැවසීය.

පසුගිය දින දෙක තුළ ටි්‍රපොලි නගරයේ ගැටුම්වලදී 7 දෙනකු මියගොස්‌ 20 දෙනකු තුවාල
ලබා ඇත. මේ නිසා ආරක්‍ෂක ස්‌ථානවලින් පිටතට එමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන් විසින් ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී ඇත.

ලෙබනනයේ තත්ත්වය දැන් පැය 24 පුරාම නිරීක්‍ෂණය කරනවා. හදිසි තත්ත්වයක්‌ ඇතිවුවහොත් ශ්‍රී ලාංකිකයන් සිටින ප්‍රදේශවලට යැමට කණ්‌ඩායමක්‌ සූදානම් කර තිබෙනවා යෑයි එම ආරංචි මාර්ග පැවසීය.

මේ අතර ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් ගුණරත්න මහතා විසින් ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව සඳහා ලෙබනන් විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධතා පවත්වා ඇත.

ලෙබනනයේ මෙයට වසර කීපයකට පෙර ඇති වූ ගැටුම්වලට මැදිහත් වී ශ්‍රී ලාංකිකයන් කීපදෙනකු මරුමුවට පත්වී සිටිති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.