හිටපු හමුදාපති ඝාතනයට තැත් කළ
බෝම්බකාරියට රැකවරණ දුන්
සූරියකුමාර් වසර 35 ක්‌ හිරේ


හේමන්ත රන්දුණු. එම්. බී. පහලවත්ත සහ රම්‍යපාල

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉලක්‌ක කර ගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කළ මංජුලාදේවි නමැති කොටි කාන්තාවට ආධාර අනුබල දී

රැකවරණය දුන් බවට චෝදනා ලත් ෂන්මුගලින්ගම් සූරියකුමාර් නමැත්තාට වසර 35 ක සිර දඬුවමක්‌ කෑගල්ල පළාත් මහාධිකරණ විනිසුරු මේනකා විඡේසුන්දර මහත්මිය ඊයේ (23 වැනිදා) නියම කළාය.

දින 30 ක්‌ තිස්‌සේ මෙම නඩුව කෑගල්ල පළාත් මහාධිකරණයේ විභාග කෙරිණි.

ඉකුත් 2006 වර්ෂයේ අප්‍රේල් මස 25 වැනිදා කොළඹ යුද හමුදා මූලස්‌ථානයේදී මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කෙරිණි. එහිදී බරපතළ තුවාල ලැබූ හමුදාපතිවරයා මාස ගණනක්‌ තිස්‌සේ කළ ප්‍රතිකාරවලින් පසුව සුවය ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයකු වූ රවී වෛද්‍යාලංකාර, එවකට ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරුන් වූ ශානි අබේසේකර, පියසෙන් අම්පාවිල සහ රොෂාන් මස්‌ඉඹුල යන නිලධාරීන් ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් මෙම ප්‍රධාන සැකකරු රඹුක්‌කන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඉතාම කෙටි කාලයක්‌ තුළදී රහස්‌ පොලිසියේ නිලධාරීහු සූක්‍ෂම ලෙස කළ පරීක්‍ෂණවලදී මෙම සිද්ධියේ සුලමුල හෙළිකර ගෙන ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළහ.

ශන්මුගලින්ගම් සූරියකුමාර් නමැත්තා වෙත එල්ල වී තිබූ චෝදනා අතර මෙම මරාගෙන මැරෙන කොටි කාන්තාව යාපනයේ සිට රැගෙන ඒම, ඇයට නවාතැන් ගැනීමට රඹුක්‌කන නිවසක්‌ සොයා දීම, වැලිවේරිය ප්‍රදේශයේ තවත් නිවසක්‌ සොයාදීම, ඇය මරාගෙන මැරෙන කොටි කාන්තාවක්‌ බව දැන දැනත් ඒ පිළිබඳව පොලිසියට වසන් කිරීම යන කරුණු ඇතුළත් විය.

යුද හමුදා මූලස්‌ථානයකට ඇතුළු වී හමුදාපතිවරයකු ඉලක්‌ක කර මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ එල්ල වූ ලෝක ඉතිහාසයේ මුල්ම අවස්‌ථාව මෙය විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.