උතුරුමැද පළාත් සභා කාරක සභාවලින්
එජාපය ඉවත් වෙයි

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

උතුරු මැද පළාත් සභාවේ පළාත් අරමුදල් පිළිබඳ ගිණුම් කාරක සභාව සහ මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති තනතුරු විපක්‍ෂයට ලබා නොදීමට විරෝධය පළකරමින් එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් එම පළාත් සභාවේ අමාත්‍යාංශ උපදේශක කාරක සභා සහ අනෙකුත් සියලුම කාරක සභාවලින් ඉවත්වීමට තීරණය කර තිබෙන බව එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී අනිල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

උතුරු මැද පළාත් සභාව ඊයේ (23 දා) සභාපති ටී. එම්. ආර්. සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌ වූ අවස්‌ථාවේ අනිල් රත්නායක මහතා මේ බව සභාපතිවරයාට දැනුම් දුන්නේය.

අමාත්‍යාංශ උපදේශක කාරක සභා සහ පළාත් අරමුදල් පිළිබඳ ගිණුම් කාරක සභාව, යෝජිත ප්‍රඥප්ති හා නීති කටයුතු පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව, පටිපාටි පිළිබඳ ව්‍යවස්‌ථා සම්පාදන කාරක සභාව, කාර්ය උපදේශක කාරක සභාව හා මන්ත්‍රී මණ්‌ඩල කාරක සභාව යන කාරක සභා සඳහා පත් කළ ආණ්‌ඩු පක්‍ෂ හා විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය.

නිලබලයෙන් අමාත්‍යවරුන්ට සභාපති ධුර හිමිවන අමාත්‍යාංශ උපදේශක කාරක සභා හැර අනෙකුත් සියලුම කාරක සභාවල සභාපති ධුරවලට මන්ත්‍රීවරුන් පත් කිරීමේදී විපක්‍ෂය නොසළකා හැර ඇති බවත්, සභාපතිවරයා අත්තනෝමතික අන්දමින් ක්‍රියා කර තිබීම පිළිබඳව තමන්ගේ බලවත් විරෝධය පළ කරන බවත් අනිල් රත්නායක මන්ත්‍රීවරයා සභාපතිවරයාට දැනුම් දුන්නේය.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ සභාපති ටී. ඇම්. ආර්. සිරිපාල මහතා මේ සම්බන්ධයෙන් තමන් හැකි ඉක්‌මනින් පළාත් සභාවේ පක්‍ෂවල කණ්‌ඩායම් නායක රැස්‌වීමක්‌ කැඳවා සාකච්ඡා කොට තීරණයක්‌ ගැනීමට පියවර ගන්නා බව පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.