පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ අද පැය 2 ක්‌ වර්ජනයේ

ඒමන්ති මාරඹේ

සේවා ඉල්ලීම් 6 ක්‌ මුල් කරගෙන රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ අද (24 දා) උදෑසන 10.00 සිට දහවල් 12.00 දක්‌වා පැය දෙකක කාලයක්‌ දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වෙති. රජයේ ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන් (එම්. එල්. ටී.), භෞතවේදී චිකිත්සකයන් (µsසියෝතෙරපිස්‌ට්‌ස්‌) හා වෘත්තීයවේදී චිකිත්සකයන් යන පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ පැය දෙකක වැඩවර්ජනය තුළදී සිය සේවා අංශයන් වසා දමා එම ස්‌ථානවලින් ඉවත්ව සිටින බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින" ට පැවසීය.

වර්ජනයෙන් අනතුරුව දහවල් 12 ට පමණ පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ දහසක්‌ පමණ දෙනා කොළඹ ජාතික රෝහලේ සිට පා ගමනින් ගොස්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වන බව ඔහු කීවේය.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ අතිකාල හා කැඳවුම් දීමනා වැඩි කිරීම, එම වෘත්තිකයන්ට ද සන්නිවේදන දීමනාව ලබාදීම, රැකියා විරහිත පරිපූරක වෛද්‍ය උපාධිධාරීහු රාජ්‍ය සේවයට බඳවාගැනීම, වසර හතක්‌ තිස්‌සේ ප්‍රමාද වෙමින් පවතින එම වෘත්තිකයන්ගේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන්ගේ උසස්‌වීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු සේවා ඉල්ලීම් 6 ක්‌ මුල් කරගෙන මෙම වර්ජනය හා උද්ඝෝෂණය ක්‍රියාත්මක කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.