දිවි නැඟුම කෙටුම්පත විභාගය අවසන්
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය 30 වැනිදා දැනුම් දෙයි

සරත් ධර්මසේන

zදිවි නැඟුම සංවර්ධනZ නමින් වෙනම දෙපාර්තමේන්තුවක්‌ පිහිටුවීම සඳහා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල දැයි සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ පිළිබඳව සිය තීරණය ජනාධිපතිට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යවන බව ඊයේ (23 දා) දැනුම් දුන්නේය.

එම පනත් කෙටුම්පතට පක්‍ෂව පෙත්සම් 8 ක්‌ද විපක්‍ෂව පෙත්සම් 07 ක්‌ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබිණි. ඒ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සියලුම නීතිඥවරු කරුණු ඉදිරිපත් කළහ.

දින 03 ක්‌ ඒ සඳහා කාලය වෙන්කර තිබූ අතර තවත් කරුණු ඇත්නම් ඒවා ලිතව හෙට (25 දා) දවස ඇතුළත උසාවියට ඉදිරිපත් කරන ලෙසද විනිසුරු මඬුල්ලේ සභාපති අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඔවුන්ට දැනුම් දුන්නාය.

ලබන 30 දාට සිය තීරණය ප්‍රකාශයට පත්කළ යුතුව ඇතැයි අගවිනිසුරුවරිය සඳහන් කළාය.

නිමල් ගාමිණි අමරතුංග සහ කේ. ශ්‍රීපවන් යන මහත්වරු විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයෝ වෙති.

අධිනීතිඥ ඡේ. සී. වැලිඅමුණ, එම්. ඒ. සුමන්තිරන්, ටිරාන් කොරයා යන මහත්වරුන් ඇතුළු නීතිඥවරු කීප දෙනෙක්‌ පනත් කෙටුම්පතට එරෙහිව කරුණු ඉදිරිපත් කළහ. ජනාධිපති නීතිඥවරුන් වන පායිස්‌ මුස්‌තාපා, මනෝහාර ද සිල්වා, අලි සබ්රි, ජයතිස්‌ස ද කොස්‌තා ඉක්‍රාම් මොහමඩ්, රොමේෂ් ද සිල්වා හා අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර යන මහත්වරු ඊට පක්‍ෂව කරුණු දැක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.