රජය කේ. පී. නිදොස්‌ කරන්නේ
ජාත්‍යන්තර නීතියත් කඩ කරමින්

අකිත පෙරේරා

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ වත්මන් නායකයා ලෙස හඳුන්වා ගත් කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. නිදහස්‌ පුද්ගලයකු බවට පත්කිරීමට රජය තීරණය කර ඇත්තේ මෙරට පමණක්‌ නොව ජාත්‍යන්තර නීතිය ද උල්ලංඝනය කරමින් බව එක්‌සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (23 වැනිදා) පැවසීය.

කේ. පී. යනු ජාත්‍යන්තර වරෙන්තුකරුවකු බවත් එවැන්නෙකුට නිදහස ලබාදීමට රජය තීරණය කළේ කුමන පදනමකින්දැයි විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී එජාප මහලේකම්වරයා ප්‍රශ්න කළේය.

ඔහු සතුව රුපියල් කෝටි 22000 කට අධික මුදලක්‌ ද විදේශ රටවල නැව් සහ ඉන්ධනහල් ද ඇති බවට වත්මන් රජය විසින්ම ප්‍රකාශ කළ බව කී තිස්‌ස අත්තනායක මහතා එම වත්කම්වලට සිදුවූයේ කුමක්‌දැයි රජය වහා කිවයුතුව ඇතැයි ද කියා සිටියේය.

එම වත්කම් කාගේ ගිණුමට බැර වූයේදැයි රජය හෙළිකළ යුතු බවත් එම වත්කම් කිසියම් පුද්ගලයකුගේ ගිණුමකට බැර වූ බැවින් එහි හිලව්වට කේ. පී. නිදහස්‌ පුද්ගලයකු බවට පත්කළේදැයි රජයෙන් විමසිය යුතුව ඇති බවත් එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

මේ වන විට කේ. පී. රාජ්‍ය තාන්ත්‍රිsක වරප්‍රසාද සහ හමුදා ආරක්‍ෂාව ලබන පුද්ගලයකු බවට පත්ව ඇති අතර එය ඔහුව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ හමුදා නිලධාරීන්ට අගෞරවයක්‌ බව ඒ මහතා කීය.

එල්. ටී. ටී. ඊ. සංවිධානයට අවි ආයුධ සැපයූ මෙවැනි ප්‍රධානීන් නිදහස්‌ කරන්නේ නම් අනෙකුත් එල්. ටී. ටී. ක්‍රියාකාරිකයන් තවදුරටත් රඳවා තබා ගන්නේ කුමටදැයි විමසූ තිස්‌ස අත්තනායක මහතා කේ. පී. නිදහස්‌ කිරීම බරපතළ තත්ත්වයක්‌ බව ද කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.