පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවූ එජාප මන්ත්‍රීන්ට
පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමත් තහනම්


අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්‌ඩාර, පාලිත තෙවරප්පෙරුම, අශෝක්‌ අබේසිංහ යන මහත්වරුන්ට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමද තහනම් කර තිබේ.

පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු කාරක සභා ශාලාවේ පැවැත් වුවද ඊයේ (23 වැනිදා) එය සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී කැඳවා තිබිණි.

එම මන්ත්‍රීවරුන් සිරිකොත මූලස්‌ථානයට පැමිණෙයි යන අදහසින් එය වාර්තා කිරීමට දෙස්‌ විදෙස්‌ මාධ්‍යවේදීන් රැසක්‌ද පක්‍ෂ මූලස්‌ථානය ඉදිරිපිට ඊයේ රැඳී සිට ඇත. එහෙත් එම මන්ත්‍රීවරුන් ඊට සහභාගී වූයේ නැත.

මේ අතර හෙල්පින් හම්බන්තොට නඩුව සම්බන්ධයෙන් තමන් දුන් තීන්දුව වැරැදි බවට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් කර ඇති ප්‍රකාශයක්‌ ගැන රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක්‌ කර තිබේ.

අදාළ නඩුව පැවරීම වෙනුවෙන් මන්ත්‍රී කබීර් හෂීම් මහතාට රුපියල් ලක්‍ෂයක දඩ මුදලක්‌ ගෙවීමට සිදුවූ අතර එම තීන්දුව වැරැදියි කියන්නේ නම් අදාළ දඩ මුදල නැවත ලබා ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද විපක්‍ෂ නායකවරයා එහිදී පවසා ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.