පළාත් සභාව නිසියාකාරව පිහිටුවා නෑ

දිවි නැඟුම පනතට උතුරු පළාත් ආණ්‌ඩුකාරයාගේ අනුමැතිය ප්‍රමාණවත්
- සොලිසිටර් ජනරාල් යුහාන්ජන් විඡේතිලක

දිවි නැඟුම පනත් කෙටුම්පතට ඇතුළත් සියලු
රෙගුලාසි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලයි


සරත් ධර්මසේන

ජනාධිපතිවරයා විසින් දිවි නැඟුම පනත් කෙටුම්පත උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයාට යොමුකළේ ඡන්ද විමසීමක්‌ පවත්වා පළාත් සභාව නිසියාකාරව පිහිටුවා නොතිබුණු නිසා බවත් එයට ආණ්‌ඩුකාරවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත හැකි බවත් සොලිසිටර් ජනරාල් යුහාන්ජන් විඡේතිලක මහතා ඊයේ ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ පනත් කෙටුම්පතට පක්‌ෂව කරුණු දක්‌වමින් සඳහන් කළේය.

සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දක්‌වමින් සඳහන් කළේ පනත් කෙටුම්පතට ඇතුළත් සියලුම රෙගුලාසි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල බවයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අදාළ පනත් කෙටුම්පතේ ඇතුළත් රෙගුලාසි එකින් එක සලකා බලා ඒවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලද නැද්ද යන්න තීරණය කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම ශ්‍රෙෂ්ඨාධිකරණයට පැවරී ඇති කාර්ය බවත් එසේ නැතිව පනත් කෙටුම්පත උතුර පළාත් ආණ්‌ඩුකාරවරයාට යොමු කිරීම හා ඊට ඔහුගේ අනුමැතිය ලබා ගැනීම නීතියට අනුකූලද නැද්ද සහ බාහිර ක්‍රියා ගැන සොයා බැලීමට අයිතියක්‌ නැති බවත් සොලිසිටර් ජනරාල්වරයා කීය.

කලින් දින විභාගය කල්තබන අවස්‌ථාවේ කරුණු දක්‌වමින් සිටි ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා ඊයේත් සුළු වේලාවක්‌ පනත් කෙටුම්පතට පක්‌ෂව කරුණු දැක්‌වූ අතර ඔහු කියා සිටියේ "දිවි නැඟුම" දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීමට යන බැංකුවල කටයුතු අධීක්‌ෂණය කිරීම මහ බැංකුවෙන් ඉවත් කරන කිසිදු රෙගුලාසියක්‌ පනත් කෙටුම්පතේ දක්‌නට නැති බවයි.

බැංකුවල කටයුතු පාලනය වන්නේ මණ්‌ඩලයක්‌ විසින් බවත්, ඊට මහ බැංකුවේ නියෝජිතයකු ඇතුළත් වන බවත් කළමනාකරණය හෝ වෙනත් තැනක යම් වරදක්‌ දුටුවහොත් ඔහුට ඒ ගැන මහ බැංකුවට වාර්තා කළ හැකි බවත් ජනාධිපති නීතිඥවරයා කීය.

බැංකුවලට එසේ එකතු වන්නේ සමෘද්ධිලාභීන්ගේ ඉතිරි කිරීම්වලින් ලැබෙන මුදල්. ඒවා සංවර්ධන කටයුතුවලට යෙදවීම සඳහා ණයට දෙනවා. රජයෙන් බැංකුවලට ලැබෙන මුදල් යොදවන්නේත් පළාත් සංවර්ධන කටයුතුවලටයි. මේවා සියල්ලම සම්පූර්ණ විනිවිද භාවයකින් යුතුවයි කෙරෙන්නේ. ඉතා පිරිසිදුව දෙපාර්තමේන්තුව තුළ සිදුවන කටයුත්තක්‌. මෙතන චෝදනාවක්‌ එල්ල වුණා බැංකුවල කටයුතු රහසක්‌ වශයෙන් රැකගත යුතු බවට.

දෙපාර්තමේන්තු පිළිබඳ තොරතුරු රහසක්‌ වශයෙන් රැකගත යුතුයි. ඒ නීතිය ඉහළ සිට පහළට බලපාන විදියට පනවා තිබෙනවා. තොරතුරු හෙළිකිරීම තහනම් කරලා තියෙන්නේ ඒවා දැන නොගත යුතු අයට පමණයි. උසාවියකට යම් තොරතුරක්‌ ඉල්ලා සිටියොත් දෙනවා. මේවා බැංකුවල දියුණුවට මිස විනාශයට හේතුවන රෙගුලාසි නොවේ.

දෙපාර්තමේන්තුවේ මුදල් ආවට ගියාට යොදවන්නේ නැහැ. රෙගුලාසිවලින් නියම කරල තිබෙනවා මුදල් වැය කළ යුතු අරමුණු මොනවාද කියලා. ඇමැතිවරයාටත් ඊට පිටින් යන්න බැහැ.

මීළඟට කරුණු දක්‌වන ජනාධිපති නීතිඥ ඉක්‍රාන් මොහොමඩ් මහතා දිවි නැගුම දෙපාර්තමේන්තුව යටතේ පිහිටවනු ලබන්නේ වාණිජ නොවන නිසා ඒවා මහා බැංකුවේ අධීක්‌ෂණයට යටත් විය යුතු නැති බව ඔහු කීය.

ජනාධිපති නීතිඥ ජයතිස්‌ස කොස්‌තා මහතා මීළඟට කරුණු දක්‌වමින් පැවසුවේ පෞද්ගලික බස්‌ ජනසතු කිරීම සඳහා පනත් කෙටුම්පතටද ඒ කාලයේ බස්‌ හිමියන්ගෙන් මෙවැනි විරෝධයක්‌ මතුවූ නමුත් ශේ්‍රෂ්ඨාධිකරණය පනත රටේ වලංගු නීතියක්‌a බවට අනුමත කළ බවයි.

සමෘද්ධි සංවර්ධන පනත ගෙනා මේ අවස්‌ථාවේ කිසිවෙකු ඊට විරුද්ධත්වය දැක්‌වූවේ නැති බවත් ඊට හේතුව එදා තිබුණේ රාජ්‍ය නොවන සංවිධානවලට හිතවත්කම් දැක්‌වු රජයක්‌ බවය. අද පවතින තත්ත්වය ඊට වෙනස්‌ බවත් කොස්‌තා මහතා පැවසීය.

පනත් කෙටුම්පත සියලුම පළාත් සභාවලට යොමුකළ යුතු යෑයි ශේ්‍රෂ්ඨාධිකරණය නියම කළා. ක්‍රියාත්මකව පවතින පළාත් සභාවලට යොමුකළ යුතු බවයි ඉන් කියෑවෙන්නේ. එසේ නැතිව පිහිටුවා නැති පළාත් සභාවකට යොමු කරන්නේ කෙසේද? ඒ නිසයි ජනාධිපතිවරයා උතුරේ පළාත් ආණ්‌ඩුකාරවරයාට පනත් කෙටුම්පත යොමුකරලා තියෙන්නෙ. කවදා හෝ පළාත් සභාවක්‌ පිහිටුවන තෙක්‌ පනත් කෙටුම්පතක්‌ සම්මත නොකර ළඟ තබාගෙන ඉන්නද? මෙම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයත් සමග පළාත් සභා අද රටට ගැලපෙන්නේ නැහැ.

මීළඟට පනත් කෙටුම්පතට පක්‌ෂව කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේ පනත් කෙටුම්පතට සියලුම පළාත් සභා විරුද්ධ වුවත් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකින් එය සම්මත කරගත හැකි බවයි.

රජයට පාර්ලිමේන්තුවේ දැන් 2/3 ක බහුතරයක්‌ තිබෙන බවත්, උතුරු පළාත් සභාවේ අනුමැතිය නොලැබුණත් පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේ අවශ්‍යතාව සපුරා ගත හැකි බවත් පළාත් සභා සියල්ලේම අනුමැතිය ලැබුණා නම් සාමාන්‍ය වැඩි ඡන්දයකින් සම්මත කරගත හැකි බවත් ජනමත විචාරණයකින් අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවක්‌ කිසිසේත්ම පැන නොනගින බවත් වැඩිදුරටත් කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.