රක්‌ෂණ ආයතන ලියාපදිංචියේදී
රක්‌ෂණ මණ්‌ඩලයට ගෙවිය යුතු මුදල් ගැන විවාදය අද

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

රක්‌ෂණ ආයතනයක්‌ ලියාපදිංචි කිරීම හා පවත්වාගෙන යැම සඳහා රුපියල් පන්ලක්‌ෂයක මුදලක්‌ සහ ඒ මත බදු මුදල් රක්‌ෂණ මණ්‌ඩලයට ගෙවිය යුතු බව දැක්‌වෙන නියෝග අද (24) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතය.

2000 අංක 43 දරණ රක්‌ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ ජනාධිපතිවරයා විසින් සාදනු ලබන මෙම නියෝගය ඇතුළත් අති විශේෂ ගැසට්‌ පත්‍රය ඊයේ (23) ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

2005 රක්‌ෂණ මණ්‌ඩල නියෝග මෙම අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් සංශෝධනය කෙරෙන අතර එහි 2 වැනි නියෝගය ඉවත්කර ඒ වෙනුවට රක්‌ෂණ ව්‍යාපාරය පවත්වාගෙන යාමට රක්‌ෂණකරුවකු ලෙස ලියාපදිංචිවීමට අදහස්‌ කරන යම් තැනැත්තෙකු රුපියල් පන් ලක්‍ෂයක මුදලක්‌ සහ ඒ මත අයවිය යුතු රජයේ බදු ගාස්‌තු මණ්‌ඩලයට ගෙවිය යුතුය යන නියෝගය ආදේශ කෙරේ.

එමෙන්ම එහි 3 වැනි නියෝගය ඉවත්කර ඒ වෙනුවට ක්‍රියාත්මක වන පළමු ලිත් වර්ෂය සඳහා රක්‌ෂණ ව්‍යාපාරයේ එක්‌ එක්‌ පන්තිය වෙනුවෙන් රුපියල් ලක්‌ෂයක මුදලක්‌ ද ක්‍රියාත්මක වන දෙවැනි ලිත් වර්ෂය ආරම්භයේ සිට සහ ඉන් පසුව රක්‌ෂණ ව්‍යාපාරයේ එක්‌ එක්‌ පන්තිය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙකක මුදලක්‌ හෝ රක්‌ෂණ ව්‍යාපාරයේ එක්‌ එක්‌ පන්තිය වෙනුවෙන් කලින් මුදල් වර්ෂය තුළ ලිත වාරික මුදලින් සියයට 0.075 ක්‌ යන මුදල් ප්‍රමාණ අතුරින් වඩා වැඩි මුදල රක්‌ෂණ මණ්‌ඩලයට ගෙවිය යුතුය යන නියෝග අද අනුමැතියට ඉදිරිපත් කෙරෙනු ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.