ලෝකයේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් විසි දෙදෙනකුටම ක්‍රීඩා දිවිය අහිමිවෙද්දී
ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයකුට තරග පාවාදීමේ
චෝදනා එල්ල නොවීම ආඩම්බරයට කරුණක්‌

- ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

ක්‍රිකට්‌ ආයතනය තුළ යහපාලනයක්‌ නැහැ
- අජිත් පී. පෙරේරා (එජාප)

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

ලෝකයේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් විසි දෙදෙනකුට මුදලට තරග පාවාදීමේ චෝදනාව හරහා තම ක්‍රීඩා ජීවිතය අහිමිවෙද්දී ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයෙකුට එවැනි චෝදනාවක්‌ එල්ල නොවීම ආඩම්බරයට කරුණක්‌ බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්‌ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමින් ක්‍රීඩා ඇමැතිවරයා එම අදහස්‌ පළ කළේය.

ක්‍රිකට්‌ තරග පාවා දෙන්නන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීම සඳහා වන පනතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ක්‍රීඩා ඇමැතිවරයා පැවැසුවේය.

මෙම පනත් කෙටුම්පත අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු කමිටුවක්‌ විසින් සකස්‌කරන බව කී ඇමැතිවරයා එය සකසා අවසන්වූ වහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවද පැවැසුවේය.

ඔස්‌ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය වැනි රටවලද මෙවැනි නීති ක්‍රියාත්මක කරන බව කී ඇමැතිවරයා ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සලය විසින් තරග පාවාදීම පිළිබඳව ක්‍රීඩකයන් විසි දෙදෙනෙක්‌ නම්කර ඇතැයිද ඒ නම් අතර කිසිදු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙක්‌ නැතැයිද ඇමැතිවරයා කීවේය.

ක්‍රිකට්‌ තරග පාවාදීම සම්බන්ධව ඊයේ පැවැති සභාව කල් තැබීමේ විවාදයේ පිළිතුරු කතාව කරමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.

ක්‍රිකට්‌ තරග මුදලට පාවාදීම පිළිබඳ සභාව කල් තබන අවස්‌ථාවේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරමින් ගම්පහ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා මෙසේ කීය.

මුදලට තරග පාවාදීමේදී වැඩිම ප්‍රසිද්ධියක්‌ උසුලන්නේ ක්‍රිකට්‌ ක්‍රීඩාවයි. 2000 වර්ෂයේදී ඉන්දියානු බුකීකරුවන් පිරිසක්‌ දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට්‌ නායක හැන්සි ක්‍රොන්යේ සමග මුදලට තරග පාවාදීමට කටයුතු කිරීම ඉතා නින්දා සහගත වුණා. පසුව පකිස්‌තානු බුකීකරුවන්ද විවිධ අයුරින් ක්‍රිකට්‌ තරග මුදලට පාවාදීම සඳහා නොයෙක්‌ උපක්‍රම සිදුකළා. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක හෂාන් තිලකරත්නද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මුදලට තරග පාවා දීමේ සිද්ධීන් සමග සම්බන්ධ වුණු බවට චෝදනා කළා. ලෝක කුසලාන අවසන් මහා තරග හතරකදීම ශ්‍රී ලංකා කණ්‌ඩායම පරාජය වීමත් අදහා ගත නොහැකි දෙයක්‌. ක්‍රිකට්‌ විනිසුරුවන්ද මුදලට තරග පාවා දුන් බවට චෝදනා තිබෙනවා. ශ්‍රී ලංකාව ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ලබාගත් කීර්ති නාමය අපි ආරක්‍ෂාකර ගත යුතුයි. එංගලන්තයේ, ඔස්‌ටේ්‍රලියාවේ ක්‍රිකට්‌ තරගවලට ඔට්‌ටු ඇල්ලීම නීතිගත කර තිබෙනවා. පසුගිය 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී මුදලට තරග පාවාදීමේ සිද්ධියක්‌ ඇති වුණාද කියා අපි ඇමැතිවරයාගෙන් දැන ගන්නට කැමැතියි.

කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා (එජාප)(- අපේ සංස්‌කෘතිය හා ජීවිතය සමග ක්‍රිකට්‌ ක්‍රීඩාව බැඳී තිබෙනවා. අපිට ලෝක මට්‌ටමෙන් තරගයක්‌ ජය ගැනීමට හැකි එකම ක්‍රීඩාව ක්‍රිකට්‌ පමණයි. යුද්ධයෙන් පීඩා විඳිමින් සිටින කාලයක පවා අපේ රටේ ජනතාවගේ සැනසිල්ලට ක්‍රිකට්‌ ක්‍රීඩාව හේතුවක්‌ වුණා. අපේ රටේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ලෝකයේ ප්‍රබල රටවල් පරාජය කරද්දී කුමාර ධර්මසේන මහතා ලොව හොඳම ක්‍රිකට්‌ විනිසුරු ලෙස සම්මාන ලැබුවා. එය අපට ආඩම්බරයක්‌ වුණා. ඒත් පසුගියදා අපිට අසන්න ලැබුණු ආසන්නතම පුවතින් කියවුණේ අපේ රටේ ක්‍රිකට්‌ විනිසුරුවන් කිහිප දෙනෙක්‌ මුදලට තරග පාවා දීමේ චෝදනාවට ලක්‌වුණා. හැන්සි ක්‍රොන්යේ, මොහමඩ් අසරුඩින්, ෂේන් වෝන්, මාක්‌ වෝ වැනි අති දක්‍ෂ ක්‍රීඩකයන් පවා මුදලට තරග පාවාදීමේ චෝදනාවට ලක්‌වුණා. ලොව මෙතෙක්‌ බිහිවූ විශිෂ්ඨතම පාපැදි ක්‍රීඩකයා ලෙස අපි දැන හඳුනාගත් ලාන්ස්‌ ආම්ස්‌ට්‍රොaන් පවා තහනම් උත්තේජක ලබා ගැනීමේ වරදට දඬුවම් ලැබුවා. මුදලට ක්‍රිකට්‌ තරග පාවාදීම යනු තරගයක ජය පරාජය යන තීරණයට පමණක්‌ම අදාළ වන්නේ නැහැ. ඊළඟ පන්දුවේදී කුමක්‌ සිදුවෙයිද යන්න පදනම් කරගෙන පවා තරග පාවාදීම සිදුකරන්න පුළුවන්. රටේ මෑතකදී පැවැත්වූ ක්‍රිකට්‌ නිලවරණයත් දූෂිත එකක්‌. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තුළ යහපාලන මූලධර්ම සිදුවෙන්නේ නැහැ.

විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා(

ක්‍රීඩාව කියන එක දේශපාලනය වගේ තමයි. හැමදාම දිනන්න බැහැ. හැබැයි දේශපාලනය කරලා පැරදුණහමත් නොයෙක්‌ හේතු කියන එජාපය විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ පැරදුණහම ඒකට නොයෙක්‌ හේතු කියන එක පුදුමයක්‌ නොවේ. තරගයක්‌ පැරදුණහම එය පාවා දීමක්‌ බවට සිතන එකත් වැරදියි. බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම අවසන් මහා තරගයට ආවේ ඔස්‌ටේ්‍රලියාව පරදවලා. ඔස්‌ටේ්‍රලියාව පැරදුණු එක ගැන එරට ජනතාව ක්‍රීඩකයන්ට තරග පාවාදීමේ චෝදනා එල්ල කළේ නැහැ. ක්‍රිස්‌ගේල් අවසන් තරගයේදී අඩු ලකුණු ගණනකට දැවී ගිය එක ගැන බටහිර ඉන්දීය කොදෙව් ජනතාව ගේල්ට තරග පාවාදීමේ චෝදනා කළේ නැහැ. අපේ රටේ විතරක්‌ ඇයි මේ චෝදනා එල්ල කරන්නේ. ඒත් අපේ රටේ කිසිම ක්‍රීඩකයෙක්‌ කවදාවත් තරග පාවාදීමේ චෝදනාවට ලක්‌වෙලා නැහැ. ඒ අභිමානය අපිට තිබෙනවා. ලෝකයේ හැම රටක්‌ අතරින්ම අවසන් මහා තරග පහකට එනවා කියන්නේ කණ්‌ඩායමක්‌ ලබන විශිෂ්ට ජයග්‍රහණයක්‌. ශ්‍රී ලංකාවට වඩා ඒ දෙය කර තිබෙන්නේ ඔස්‌ටේ්‍රලියාව පමණයි. අපේ රටේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ගැන සැකයක්‌ මතු කිරීමම එම ක්‍රීඩකයන්ට කරන අසාධාරණයක්‌. 20-20 මෙන්ම එක්‌දින තරගවලත් වත්මන් අනුශූරයන් ශ්‍රී ලංකාවයි. ඒත් 20-20 ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව්වන්ට එක්‌දින ලෝක ක්‍රිකට්‌ තරගාවලියේදී ලැබුණු තැන මොකක්‌ද? එක්‌දින තරගවල ශූරයන් වන ඉන්දියාවට 20-20 ලෝක කුසලානයේදී ලැබුණු ඉරණම මොකක්‌ද? ඒ නිසා අපි තමයි ඇත්තටම දක්‍ෂතම කණ්‌ඩායම. එහෙම කණ්‌ඩායමක ක්‍රීඩකයන් හීනයකින්වත් තරග පාවා දුන්නා යෑයි හිතන්න එපා.

මහනුවර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා (එජාප)(

අපේ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවය ගැන අපිට සැකයක්‌ නැහැ. ඒත් අවසන් මහා තරග හතරකදී පරාජයට පත්වීම ගැන අපිට තිබෙන්නෙ කනගාටුවක්‌. තීරණාත්මක තරගවලදී ක්‍රීඩකයන්ගේ මනස ඒ සඳහා ශක්‌තිමත් කිරීම ක්‍රිකට්‌ බලධාරීන් සතු වගකීමක්‌ වෙනවා. ඒ වගකීම පසුගිය ප්‍රධාන තරගවල සිදුවුණේ නැහැ. ක්‍රීඩා නිලවරණ දූෂණයෙන් තොරව පවත්වන්න. අද ක්‍රිකට්‌ ක්‍රීඩාව කොළඹට පමණක්‌ සීමා වෙලා තිබෙන්නේ.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ශාන්ත බණ්‌ඩාර මහතා (එජනිස)(

ක්‍රිකට්‌ ක්‍රීඩාව තුළින් අපේ රටට විශාල කීර්තියක්‌ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවට ලොව අනෙකුත් රටවලට අභියෝග කළ හැකි එකම ක්‍රීඩාව ක්‍රිකට්‌ ක්‍රීඩාවයි. අපේ ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම අපට ලොකු අභිමානයක්‌. අවිනිශ්චිත ක්‍රීඩාවක්‌ තුළ කුමක්‌ සිදුවෙයිද කියන්න අපහසුයි. ජයග්‍රහණය කළ විට මල්මාලා දමා පිළිගන්නවා සේම පරාජයට පත්වුණහම චෝදනා කරන එක වැරදියි. ක්‍රිකට්‌ ක්‍රීඩාවේ පරිපාලනයේ යම් යම් දුර්වලතාවයන් තිබෙන්න පුළුවන්. ක්‍රිකට්‌ ක්‍රීඩාව සූදුවක්‌ බවට පත් වීමට අපේ විරෝධය ප්‍රකාශ කරනවා.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා (එජනිස)(

ක්‍රිකට්‌ ක්‍රීඩාවටත් එම ක්‍රීඩකයන්ටත් අපකීර්තියක්‌ මේ යෝජනාව ගෙන ඒමේදී සිදුවෙනවා. ජෝන් අමරතුංග මහතා කවර ෙච්තනාවකින් මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් ඒ මගින් සිදුවෙන්නේ අපේ ක්‍රීඩකයන්ට කැළලක්‌ එකතුවීම පමණයි. අපේ කම, අපේ හැඟීම ක්‍රිකට්‌ ක්‍රීඩාව සමග බද්ධව පවතිනවා. 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන අපි ගොඩක්‌ බලාපොරොත්තු තබා ගත්තේ ඒ නිසයි. තරග පාවාදීම හරහා ලෝක ක්‍රිකට්‌ පරිහානියට පත්වීම වළක්‌වන්න විවිධ නීති රීති ගෙනැවිත් තිබෙනවා. මුදල් ඔට්‌ටු ඇල්ලීමේදී නිත්‍යානුකූල සහ නිත්‍යානුකූල නොවන ඔට්‌ටු ඇල්ලීම් ලෙස වර්ග දෙකක්‌ තිබෙනවා. මේ දක්‌වා කාලය තුළ ශ්‍රී ලංකාවේදී තරග පාවාදීම පිළිබඳව අපේ රටේ කිසිම ක්‍රීඩකයෙකුට චෝදනාවක්‌ එල්ල වී නැහැ.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා (එජාප)(

තරග පාවාදීම සහ තහනම් උත්තේජක යන චෝදනාවන් ක්‍රීඩාවන්ට විශාල පිළිකා දෙකක්‌ වී තිබෙනවා. තරගයක්‌ පරාද වූ පමණින් අපිට ක්‍රීඩකයෙකුට ඇඟිල්ල දිගු කරන්න බැහැ.තරග පාවා දුන් බවට. ලෝක කුසලාන අවසන් මහා තරග හතරකට පැමිණෙන්න හැකි වීමම සුවිශේෂී ජයග්‍රහණයක්‌. හම්බන්තොටට ක්‍රිකට්‌ ක්‍රීඩා පිටියක්‌ ගෙන එන්න වියදම් කළ මුදල් විශාල නාස්‌තියක්‌ බව කිව යුතුයි. හොරුන් ආරක්‍ෂා කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රියා කරනවා. එය සම්පූර්ණයෙන් වැරදියි. ක්‍රිකට්‌ ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සීඑස්‌එන් නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කිරීම වැරදියි. කෝප් කමිටු වාර්තාවෙනුත් එය වරදක්‌ ලෙස පෙන්වාදී තිබෙනවා.

උවයිස්‌ µdරුක්‌ මහතා මුලසුනට පැමිණියේය.

කුරණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නෙරංජන් වික්‍රමසිංහ මහතා (එජනිස)(

ක්‍රිකට්‌ තරග ජයග්‍රහණවලට වාසනාව බලපානවා. 20-20 අවසන් තරගයේදී අපේ කණ්‌ඩායමට එය අහිමි වුණා. ඒ වගේම නායක මහේල පැවැසුව පරිදි ශ්‍රී ලංකා කණ්‌ඩායමට එම තරගයේදී එල්ල වුණු පීඩනය වැඩියි. ඒත් කිසි විටෙකවත් අපේ ක්‍රීඩකයන් අවසන් තරගය වුවමනාවෙන් පරාද වුණා කියන චෝදනාව අපිට පිළිගන්න බැහැ.

පත්කළ මන්ත්‍රී ඒ. එච්. එම්. අස්‌වර් මහතා (එජනිස)(

ටෝනි ගේ්‍රග් මහතා පෙණහලු පිළිකා රෝගයට ගොදුරු වී තිබෙනවා. ශ්‍රී ලංකාවට බෙහෙවින් ඇලුම් කළ ඒ මහතාට අපි ඉක්‌මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ක්‍රිකට්‌ තරග හරහා ශ්‍රී ලංකාවට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙනවා. ක්‍රිකට්‌ සංචාරක ක්‍ෂේත්‍රය දියුණු කිරීමට යහපත් මගක්‌ වෙනවා.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ශ්‍රී රංගා මහතා (එජාප) - විස්‌සයි විස්‌ස එක තරගයක්‌ පරාදවීම පිළිබඳ කතා කරන විපක්‌ෂය මැතිවරණ 29 ක්‌ පරාදවීම ගැන කතා නොකරන්නෙ ඇයි? ක්‍රිකට්‌ යනු අද මුදල් හඹා යන ක්‍රීඩාවක්‌ බවට පත්වී තිබෙනවා. අපි ක්‍රිකට්‌ ක්‍රීඩාව පිළිබඳව බලාපොරොත්තු තබා තිබෙනවා වැඩියි. බලාපොරොත්තු වැඩි තරමට පරාජයේ වේදනාව වැඩියි. මෙවැනි වාද විවාද ඇති වෙන්නේ ඒ නිසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.