ඩොල්ෆින් සහ තල්මසුන් ඇතුළු මුහුදු :
ක්‍ෂීරපායින් සංරක්‍ෂණයට රෙගුලාසි මාලාවක්‌

- ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන

ධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්‌ පත්කර ගන්න බැරි
දෙපාර්තමේන්තුව රෙගුලාසි ක්‍රියාත්මක
කරන්නේ කොහොමද?

- හම්බන්තොට දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) සජිත් ප්‍රේමදාස

යාල පෞද්ගලික ඉදිකිරීම් සඳහා අවසර
දුන්නේ ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්‌

- දයාසිරි ජයසේකර (එජාප)

දිවි නැගුම අපරාධ නඩු විධාන සංග්‍රහය සහ
විසර්ජන පනත් කෙටුම්පත් තුනට අදාළව
පෙත්සම් එකොළහක පිටපත් කථානායකට

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

ඩොල්ෆින් සහ තල්මසුන් ඇතුළු මුහුදු ක්‍ෂිරපායීන් සංරක්‍ෂණය කරගැනීම සඳහා රෙගුලාසි මාලාවක්‌ හඳුන්වා දෙන බව ගොවිජන සේවා හා වනජීවී නියෝජ්‍ය ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වනසත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂක ආඥ පනත යටතේ රෙගුලාසි අනුමැතිය සඳහා ඉදිරිපත් කරමින් නියෝජ්‍ය ඇමැතිවරයා එසේ කීවේය.

නියෝජ්‍ය වේත්‍රධාරි නරේන් ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (23 දා) පස්‌වරු 1.00 ට රැස්‌විණි.

නිවේදන, වාර්තා, ලිපි ලේඛන සහ පෙත්සම් ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

අනතුරුව වනසත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂක ආඥ පනත යටතේ නියෝග අනුමැතිය සඳහා ආණ්‌ඩු පක්‍ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළේය.

කාරක සභා නියෝජ්‍ය සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මහතා මුලසුනට පැමිණියේය.

ගොවිජන සේවා හා වනජීවී නියෝජ්‍ය ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා

මුහුදු ක්‍ෂිරපායීන් නැරඹීමට ශ්‍රී ලංකා වෙරළ තීරය ප්‍රසිද්ධවී ඇත. තල්මසුන් හා ඩොල්ෆින් නැරඹීමේ සංචාරක ව්‍යාපාරය ඉහළ ගොස්‌ තිබෙනවා. මුහුදු ක්‍ෂිරපායී සතුන් නැරඹීමෙන් විශාල විදේශ විනිමයක්‌ ලබා ගත හැක. මෙම සතුන්ගේ පැවැත්ම සඳහා සහ ආරක්‍ෂාව සඳහාත්, නරඹන්නන්ගේ ආරක්‍ෂාවටත් පියවර ගෙන ඇත. සතුන්ගේ ස්‌වභාවික සංරක්‍ෂණයට අවහිර නොවන ලෙස නැරඹීම, තල්මසුන් පෙනෙන ස්‌ථානයේ සිට මීටර් හාරසීයක්‌ දුරින් බෝට්‌ටු එන්ජින් නතර කිරීම, සතුන් ආසන්නයේ කිමිදීම තහනම් කළ යුතුය, සතුන් නැරඹීම සඳහා යෝග්‍ය බෝට්‌ටු හා නරඹන්නන්ට ජීවිතාරක්‍ෂක කට්‌ටල තිබිය යුතුයි ගොඩබිම සමග නිරන්තර සම්බන්ධ පැවැත්වීමේ තාක්‍ෂණ බෝට්‌ටු තුළ තිබිය යුතුයි. සතුන්ගේ හැසිරීම ගැන මාර්ගෝපදේශක විසින් සංචාරකයා දැනුවත් කළ යුතුය. බෝට්‌ටුව තුළ මත්පැන් පාවිච්චිය නොකළ යුතුය යන රෙගුලාසි අප ඉදිරිපත් කර තිබෙනවා. තල්මසුන්, ඩොල්ෆින් නරඹද්දී අවිධිමත් නුසුදුසු බෝට්‌ටු සතුන්ට හානිවන ලෙස යොදා ගන්නවා. මීටර් සියයකට ඔබ්බෙන් සිට තල්මසුන් නැරඹිය යුතුයි. ඩොල්ෆින් අසල බෝට්‌ටු ගැවසීම නොකළ යුතුයි. එමනිසා මේ රෙගුලාසි තුළින් තල්මසුන්, ඩොල්ෆින්, මුහුදු ඌරන් වැනි ක්‍ෂිරපායී සතුන් ආරක්‍ෂා කරගැනීමට කටයුතු කරනවා. මේ දුර්ලභ සත්ව විශේෂයෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් මේ රෙගුලාසි වැදගත් වෙනවා.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) සජිත් ප්‍රේමදාස මහතා

තල්මසුන් හා ඩොල්ෆින් සංරක්‍ෂණය කිරීමේ නියෝගය ගැන කතා කරනවා. තල්මසුන් හා ඩොල්ෆින් සංචාරක කර්මාන්ත හා සංරක්‍ෂණය මුවාවෙන් රෙගුලාසි රැසක්‌ ඉදිරිපත් කර තිබෙනවා. මාස 14 ක්‌ තිස්‌සේ වනජීවී දෙපාර්තමේන්තුවට අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්‌ නෑ. මේ දෙපාර්තමේන්තුව පරිපාලන ක්‍ෂේත්‍රයෙන් බරපතළ කඩාවැටීමක්‌ තිබෙනවා. අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්‌ පත්කර ගන්න බැරි දෙපාර්තමේන්තුව කොහොමද මේ රෙගුලාසි ක්‍රියාත්මක කරන්නේ. වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දුර්වල මානසිකත්වයෙන් සේවය කරනවා. බීට්‌ටු හා ක්‍ෂේත්‍ර නිලධාරීන් ඉතාම දුර්වල තත්ත්වයකට ලක්‌වෙලා. විසි හතර පැයම වනජීවීන්ගේ සංරක්‍ෂණයට කටයුතු කරන මේ නිලධාරීන්ට ලැබිය යුතු ශක්‌තිය ලැබෙන්නේ නෑ. ශිෂ්‍යත්වවලට විදෙස්‌ගත වන්නේ ඒ ක්‍ෂේත්‍ර නිලධාරීන් නොවේ. අගනුවර ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්. එනිසා දුර්වල මානසිකත්වයක්‌ දෙපාර්තමේන්තුවේ තිබෙනවා. තල්මසුන්, ඩොල්ෆින් සංරක්‍ෂණයට වෙනමම ඒකක පිහිටු විය යුතුයි. නොවැම්බර් අප්‍රේල් කාලයේ තමයි මේ සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ. මෙවැනි තත්ත්වයක්‌ තුළ වෙනමම ඒකකයක්‌ හරහා සංරක්‍ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම උචිතයි.

මහාමාර්ග හා වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා

අද සිරිකොතෙත් අලි ප්‍රශ්නයක්‌. හොඳ අලි නැහැ. කොතල හිඹුටු අපනයනය කිරීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසරයක්‌ දීලා නැහැ. අලි සංගණනයේ නිවැරදි තොරතුරු නොමැති නිසා එහි අවසන් වාර්තාව තවමත් එළි දැක්‌කෙ නැහැ. වනෝද්‍යාන තුළ සංචාරක නිකේතන තිබෙනවා නම් එය වැරදියි.

ජනක ප්‍රියන්ත බණ්‌ඩාර මහතා මුලසුනට පැමිණියේය.

සමාජ සේවා ඇමැති ෆිලික්‌ස්‌ පෙරේරා මහතා

තල්මසුන් නැරඹීමේ ව්‍යාපෘතිය හඳුන්වා දුන්නේ මා ධීවර ඇමැතිවරයාව සිටි කාලයේදීයි. මේ මසුන් ගැන නිසි අවධානයක්‌ නැතිව නීති - රීති ගෙනාවට වැඩක්‌ නැහැ. තල්මසුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය තරංග.

සාගර දූෂණය ගැනත් අපි අවධානය යොමු කළ යුතුයි. තල්මසුන්ට අභිජනන කටයුතු සඳහා ලංකාවේ වෙනම මුහුදු රක්‍ෂිත සීමාවක්‌ නැහැ. වැඩි ශබ්ද එන බෝට්‌ටු තල්මසුන්ට අහිතකරයි. ශබ්ද දූෂණය නිසා තල්මසුන් මැරෙනවා. ඒ ගැන අපි අවධානය යොමු කළ යුතුයි.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජාප)

මේ ව්‍යාපාරය ගැන ප්‍රශ්න ගණනාවක්‌ උද්ගත වෙලා. නාවික හමුදාවේ ජෙට්‌ ලයිනර් නැවෙන් මසුන් නැරඹීමට යැම එම මසුන්ට අහිතකරයි. වැඩි ශබ්දයක්‌ එයින් නිකුත් වෙනවා. ජෙට්‌ ලයිනර් නැවෙන් ක්‍ෂිරපායි සතුන් නැරඹීමට යාම නතර කළ යුතුයි.

ආදිවාසීන් එක්‌ක ආණ්‌ඩුවේ අය ක්‍රිකට්‌ ගහපු එක "ලගන්" චිත්‍රපටිය වගේ. ආණ්‌ඩුවේ අය වැද්දන්ටවත් දිනන්න දුන්නේ නැහැ. යාල පෞද්ගලික ඉදිකිරීම් සඳහා අවසරය දුන්නේ ආණ්‌ඩුවේ ප්‍රබලම අමාත්‍යවරයෙක්‌. විල්පත්තු සහ උඩවලව ආරක්‍ෂා කිරීම සඳහා නිවැරදි තීරණයක්‌ ගන්න.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා

සොබා දහමේ තිබෙන වටිනා සම්පත් ආරක්‍ෂා කිරීම අපේ වගකීමක්‌. කොළඹ නගරය පවා අද ඉතා අලංකාර වෙලා. කොළඹ ඉඳන් මාතරට යද්දී අද මුහුද පෙනෙනවා අඩුයි. මහා පවුරු බැඳ මුහුදු දර්ශනය වැසී ගොස්‌ තිබෙනවා. සාගර දූෂණය ගැනත් අපි අවධානය යොමු කළ යුතුයි. අවිධිමත් ඉදි කිරීම් සංචාරක කලාප තුළ බහුල වෙලා.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ප්‍රජාස)

සංචාරකයාගේ ජීවිතයත්, මුහුදු ජීවියාගේ ජීවිතයත් දෙකම ආරක්‍ෂා වෙන වැඩපිළිවෙළක්‌ සංචාරක බෝට්‌ටු සඳහා ගෙන ආ යුතුයි. පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ඇලහැර 12 කණුව යායගම ඉවත් කිරීමට වැඩපිළිවෙළක්‌ යන බවට ආරංචියි. අලි වැඩිපුර නොඑන එම ප්‍රදේශයේ අලිමංකඩක්‌ ඉදි කිරීම සඳහා ගම ඉවත් කිරීමට යැම වැරදියි.

ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතා

දයාසිරි ජයසේකර මහතාට වැරදි තොරතුරු වගයක්‌ ලැබී තිබෙනවා. යාල වනෝද්‍යානයේ අනවසර ඉදිකිරීම් සිදු වෙන්නෙ නැහැ. ක්‍ෂිරපායී සතුන්ගේ වඳ වී යැමට ඩයිනමයිට්‌ භාවිතය ප්‍රබල ලෙස බලපා තිබෙනවා.

දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සරත් වීරසේකර මහතා (එජනිස)

ජෙට්‌ ලයිනර් නෞකාව මගින් මත්ස්‍ය සම්පතට කිසිම හානියක්‌ වෙන්නෙ නැහැ. එය අසත්‍යයක්‌. යුද්ධයෙන් පසුව රටේ සංචාරක ක්‍ෂේත්‍රය දියුණු වුණා. තල්මසුන් නැරඹීමේදී අපි පරෙස්‌සමෙන් ඒ දෙය සිදු කළ යුතුයි.

නියෝග සම්මත විය.

පාර්ලිමේන්තුව අද (24 දා) ප. ව. 1.00 ට යළි රැස්‌වේ.
 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.