දකුණු මුහුදේ සුන්දරත්වය විකුණා සමාගම් මුදල් උපයති

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි,
ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

දකුණු මුහුදේ තල්මසුන් හා ඩොල්ෆින් මසුන් නැරඹීමට එක්‌ එක්‌ සමාගම් මුහුදු සංචාර සංවිධානය කර මුදල් උපයන අතර මෙසේ සංචාර මගින් මීට වඩා මුදලක්‌ රජයට අයකර ගැනීමේ නිසි වැඩපිළිවෙළක්‌ අවශ්‍යව පවතින බැව් වනජීවී දෙපාර්තමේන්තුවේ හික්‌කඩුව උද්‍යාන භාරකරු අසංක ගුණවර්ධන මහතා පැවැසීය.

වනජීවී දෙපාර්තමේන්තුවේ හික්‌කඩුව උද්‍යාන භාරකාරවරයා මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේ ද පැවැසීය.

වන සත්ත්ව හා වෘක්‌ෂලතා නීති රෙගුලාසි ඇවිත් තිබෙනවා. මේ අලුත් රෙගුලාසි ක්‍රියාත්මක කරන්න ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව තියෙනවා.

දකුණු මුහුදේ තල්මසුන්, ඩොල්ෆින් මසුන් නරඹන පැකේජ ක්‍රියාත්මක කරනුයේ අතිවිශාල මුදල් ගනුදෙනු මතයි. නමුත් මේවායේ ලාභය ගන්නේ බහුජාතික සමාගම් විසිනුයි. රටේ සම්පත්වලින් බහුජාතික සමාගම්වලට ඉඩ ලබාදිය නොහැකියි.

මෙම තත්ත්වය වැළැක්‌වීමට වනජීවී දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය ආදී වූ ආයතන එක්‌ව නිශ්චිත වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතුය.

සාමාන්‍යයෙන් වනජීවී නීතිවලට අනුව ඩොල්ෆින් මසුන්ට කෑම දෙන්න බෑ. සතුන් තුවාල ලබනවා. මේවාට එරෙහිව අලුත් නීති සම්පාදනය වී තිබෙනවා. මේවා පාලනය කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව ට බලතල ලැබී තිබෙනවා යයිද වනජීවී දොපර්තමේන්තුවේ හික්‌කඩුව උද්‍යාන භාරකරු අසංක ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.