මේ වන විට වකුගඩු රෝගයෙන්
පනස්‌දහසක්‌ පමණ මිය ගොස්‌ තිබෙනවා

- ස්‌වර්ණ හංස පදනමේ සභාපති ගාල්ලගේ පුණ්‍යවර්ධන

තලාව එප්පාවල - රත්න බී. ඒකනායක

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වැඩසටහනක්‌ විධියට හැටේ දශකයේ මේ රටේ ආරම්භ කළ හරිත විප්ලවය නිසා දේශීය කෘෂිකර්මාන්තය නැත්තටම නැතිවී රසායනික පොහොර හා තෙල් මත යෑපෙන කෘෂිකර්මයක්‌ රට පුරා ව්‍යාප්ත වුණා. දේශීය නුමුහුන් කෘෂිකර්මාන්තයට මුහුකළ කෘෂි රසායන නිසා මහපොළව විකෘතිවී භූගත ජලයට කෘෂි රසායන එකතුවී පානීය ජලය සමග ආසනික්‌ වැනි විෂකාරකයන් ශරීර ගතවීම නිසා සුව නොකළ හැකි වකුගඩු රෝගය සෑදීමේ මේ වන විට පනස්‌දහසකට වඩා ජන සංඛ්‍යාවක්‌ වකුගඩු රෝගයෙන් මිය ගොස්‌ තිබෙනවා. තවත් පන් ලක්‍ෂයකට වඩා පිරිසකට වකුගඩු රෝගය බෝවෙමින් පවතිනවා. මේ අන්දමේ මහා මිනිස්‌ ඝාතනයක්‌ සිදු කළ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය යළිත් ලෝක ආහාර දිනය අපේ රටේ පවත්වනවා යෑයි ස්‌වර්ණහංස පදනමේ සභාපති ගාල්ලගේ පුණ්‍යවර්ධන මහතා එප්පාවලදී පැවැති ලෝක ආහාර දින විරෝධී ගොවි රැස්‌වීමේදී පැවසීය.

මේ තත්ත්වයට වගකිව යුත්තේ 1960 සිට මේ දක්‌වා පැවැති දේශීය ආණ්‌ඩු. අපේ රටේ ආණ්‌ඩු එක්‌ පැත්තකින් කෘෂිරසායන මේ රටේ වපුරන්න ඉඩ දුන්නා. අනෙක්‌ පැත්තෙන් ගොවිජනතාව කෘෂිරසායනවලට උනන්දු කිරීම සඳහා ලෝක ආහාරදින මේ රටේ පවත්වන්නට ඉඩ දුන්නා. මේ දෙආකාරයෙන් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අපේ රටට ඇතුළුවන්නට ඉඩදී මෙම ජාතිෙද්‍රdaහී වැඩ කරන්නට ඉඩදීමෙන් ආණ්‌ඩුවද ඔවුන්ට අනුබල දී තිබෙනවා යෑයි ගාල්ලගේ පුණ්‍යවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී කථා කළ ආචාර්ය සූරිය ගුණසේකර මහතා ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානය මගින් මේ රටේ ගොවිතැන උඩුයටිකුරු කර විනාශ කර ඇතැයිද විශේෂයෙන් අඩසිය වසක්‌ තුළ ගොවීන්ගේ ආකල්පමය පරිවර්තනයක්‌ ඇතිකරමින් යළිත් කලකට දේශීය කෘෂිකර්මය හා මහපොළව නීරෝගී තත්ත්වයකට ගෙන ඒමට බැරි තරමට විනාශ කර ඇතැයිද පැවසීය. ජනතාව දහස්‌ ගණනින් වකුගඩු රෝගයෙන් මිය යද්දී තවමත් කැඩ්මියම් ආසනික්‌ සයනයිඩ් වැනි වසවිෂ අඩංගු රසායනික පොහොර හා කෘෂිරසායන රටට ආනයනය කිරීමට ඉඩදී රජය බලාසිටීමෙන් පෙනී යන්නේ රජය මෙරට ජනතාවට වඩා බහුජාතික සමාගම් ආරක්‍ෂා කරන බව යෑයි ආචාර්ය සූරිය ගුණසේකර මහතා පැවසීය.

රටට මහා වසංගතයක්‌ මෙන් වකුගඩු රෝගය රජරට මුල්කොට රට පුරා පැතිරෙද්දී බල්ලන් බුරද්දී තවලම ගමන් කරන්නාක්‌ මෙන් වකුගඩු රෝගයෙන් ජනකාව මියයද්දී රජය නොනැවතී වස විෂ අඩංගු රසායනික පොහොර හා කෘෂිරසායන ගෙන්වන්නේ යෑයි ආසනික්‌ විරෝධී ජාතික ගොවි සංවිධානයේ සභාපති මහමාංකඩවල ශ්‍රී පියරතන නාහිමියෝ පැවසූහ.

තවත් ගොවියේ කීපදෙනෙක්‌ මෙහිදී අදහස්‌ දැක්‌වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.