ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ
වටිනාකම නොදන්නා නිලධාරීන් සමඟ
මෙම ඇමැතිකම මා කරන්නේ අමාරුවෙන්
- ඇමැති තිස්‌ස කරල්ලියෑද්ද

හොරණ - විදුර විජයනාථ

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වටිනාකම නොදන්නා නිලධාරීන් සමඟ අවුරුදු දෙකක්‌ තිස්‌සේ බොහොම අමාරුවෙන් මා මෙම ඇමැතිකම කරගෙන යනවා. විෂය භාරව ඉන්නා නිලධාරීන්ගෙන් අතේ ඇඟිලි ප්‍රමාණයටවත් මෙම අමාත්‍යාංශයට ආදරය කරන අය හොයා ගැනීම බැරි යෑයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්‌ස කරල්ලියද්ද මහතා පවසයි.

ඒ මහතා එම අදහස්‌ පළකර සිටියේ ඉංගිරිය පොලිස්‌ ස්‌ථානයේ ඉදිකරන ලද මුල් ළමාවිය ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශ ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාවක්‌ අමතමිනි.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ මුල් ළමා විය, ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද ප්‍රථම ළමා හා කාන්තා කාර්යාංශ ගොඩනැඟිල්ල මෙය බව අමාත්‍යවරයා පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍ය තිස්‌ස කරල්ලියද්ද මහතා ළමයින් හා කාන්තාවන් වෙනුවෙන් සිදු වෙන්නා වූ අපරාධ සම්බන්ධයෙන් එල්ලුම්ගහ කියාත්මක කළ යුතුයි. නැතිනම් බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්‌වා පොදු සමාවකින් තොරව එය මරණ දඬුවම් දක්‌වා ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් ඕනෑම ජඩ වැඩක්‌ කර හිරේට ගිහින් මාස තුනක්‌ විතර ඉඳලා එළියට එන්න පුළුවන්. පුංචි දරුවෙකුට අතවරයක්‌ කළ විට මේ නඩු අවුරුදු 3 - 4 ක්‌ උසාවියේදී කල් යනවා. එතකොට පුංචි දරුවෝ වැඩිවියට පත්වලො. එවිට හිතන්න පුළුවන්ද මේ පුංචි අය උසාවියට ඉදිරිපත් වෙයි කියලා. අපරාධ කරපු අය නිදහස්‌ වෙලා යනවා. ඒ දරුවෝ අනාථ වෙනවා.

සමාජයේ මනස දැනුවත් කිරීම තමා අපේ අමාත්‍යාංශයට කරන්න වෙලා තියෙන්නෙ. එය හිතෙන තරම් පහසුවන්නේ නැහැ. අපරාධවලට දරුවන් ලක්‌වීම පිළිබඳ දෙමාපියනුත් වගකිව යුතුයි. වයස අවුරුදු 18 ට අඩු ගැහැනු ළමයි ඉන්න මෑණිවරුන්ට විදේශගතවීම තහනම් කරන ලෙස මම ඉල්ලුවා. එයටත් මම වැදිකාරයෙක්‌ වෙලා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි එච්. එම්. ධර්මසේන, ඉංගිරිය පොලිස්‌ ස්‌ථනාධිපති මහතා ඇතුළු කිහිප දෙනෙක්‌ අදහස්‌ දැක්‌වූහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.