දේශීය දියර කිරි නිෂ්පාදනය නැංවීමට
කිරි දෙනුන් 1500 ක්‌ ආනයනය කිරීමට යයි

මාතලේ විශේෂ

දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගුණාත්මක තත්ත්වයේ කිරි දෙනුන් එක්‌දහස්‌ පන්සියයක්‌ ආනයනය කිරීමට පශු සම්පත් හා ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

දිවයින පුරා දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ ග්‍රාමීය වැඩසටහන සඳහා උසස්‌ තත්ත්වයේ කිරි දෙනුන් බෝ කිරීමට අවශ්‍ය සැලසුම් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇත. ආනයනය කෙරෙන කිරි දෙනුන් මෙම වැඩපිළිවෙළ යටතේ මෙරටට ගෙන්වනු ලබන බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ කුලේෂ්වර් කුමාර් මහතා පැවැසීය.

මෙම වසර මුලදී ඔස්‌ටේ්‍රලියාවෙන් ආනයනය කළ ගැබ් ගත් කිරි දෙනුන් විසින් බිහි කළ පැටවුන් කිරි ගොවීන් සඳහා ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද පැවැසීය.

ආනයනය කරන කිරි දෙනකගේ මිල රුපියල් දෙලක්‍ෂ හැත්තෑපන්දහසක්‌ වන බවත් කිරි ගොවීන් සඳහා දැරිය නොහැකි මිලක්‌ නිසා ආනයනය කෙරෙන කිරි දෙනුන් රජයේ ගොවිපළවල රඳවා ගනිමින් බිහිකරන පැටවුන් ගොවීන්ට ලබාදීමට සැලසුම්කර තිබේ.

මෙම කිරි දෙනකගෙන් දිනකට කිරි ලීටර් 18 ක්‌ ලබාගත හැකි අතර පැටවුන් කීප දෙනකු බිහි කිරීමත් සමග ලබාගත හැකි දියර කිරි ප්‍රමාණයද ඉහළ යයි.

ආනයනය කෙරෙන කිරි පිටි ප්‍රමාණය අඩුකරමින් දේශීය දියර කිරි නිෂ්පාදනය වර්ධනය කර දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමත්, දියර කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන වෙළෙඳ පොළට සපයමින් අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමටද මෙමගින් සැලසුම්කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.