වෛද්‍ය වර්ජනයෙන් ඊයේ
රටපුරා රෝහල් සේවා අඩාල වේ

ඒමන්ති මාරඹේ - අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු, නුවරඑළිය - ජයකොඩි රත්නායක, දඩයම්තලාව - පී. ජයසිංහ, කන්දකැටිය පී. චතුරංග

සේවා ඉල්ලීම් 3 ක්‌ මුල් කරගෙන රජයේ රෝහල් වෛද්‍යවරුන් විසින් ඊයේ (25 දා) ක්‍රියාත්මක කළ දීපව්‍යාප්ත එක්‌ දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශ සායන, සාමාන්‍ය සැත්කම් හා ප්‍රතිකාර කටයුතු ඇනහිට තිබූ අතර ලක්‍ෂ සංඛ්‍යාත රෝගීහු පිරිසක්‌ දැඩි අසීරුතාවකට පත්ව සිටියහ. බාහිර රෝගී අංශ සායන ඊයේ දිනයේ වෛද්‍ය වර්ජනය හේතුවෙන් නොපැවැත්වීම නිසා විශාල පිරිසකට ප්‍රතිකාර නොලබාම නිවෙස්‌වලට යැමට සිදු වී තිබේ.

කොළඹ ජාතික, රාගම ශික්‍ෂණ, කළුබෝවිල, අනුරාධපුර, පොළොන්නරුව, කළුතර නාගොඩ, මහනුවර, මොනරාගල ඇතුළු දිවයින පුරා පිහිටි රජයේ ප්‍රධාන රෝහල්, මූලික හා දිසා රෝහල්වල සායන, සාමාන්‍ය සැත්කම් හා ප්‍රතිකාර කටයුතු මෙම වර්ජනය හේතුවෙන් ඇන හිට තිබූ බව එම රෝහල් ප්‍රධානීහු "දිවයින"ට පැවැසූහ. කෙසේ වුවද හදිසි සැත්කම් හා ප්‍රතිකාර කටයුතු පමණක්‌ මෙම රෝහල්වල සාමාන්‍ය පරිදි සිදු කෙරුණු බවද ඔවුහු කීහ.

වර්ජනය පැවැති සියලු රෝහල්වල ඊයේ දිනට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සාමාන්‍ය සැත්කම් දහස්‌ ගණනක්‌ ඇතුළත් සැත්කම් ලේඛන අවලංගු කිරීමට සිදුව තිබිණි.

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ රෝහල්වල සියලු විශේෂඥ වෛද්‍යවරුන් හා සාමාන්‍ය වෛද්‍ය නිලධාරීන් වර්ජනයේ යෙදී සිටියද සීමාවාසික වෛද්‍ය නිලධාරීන් පමණක්‌ සේවයට වාර්තා කර තිබිණි.

වර්ජනයේ නිරත සියලු වෛද්‍යවරුන්ට ඊයේ දිනයේ පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන ලෙස දැනුම් දී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා මහතා පැවැසීය.

රජයේ වෛද්‍යවරුන් ඇතුළු සමස්‌ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 1( 12 ක අනුපාතයකින් වැඩිකිරීම, හදිසි සේවාවන්හි නිරතව සිටින රජයේ වෛද්‍යවරුන්ට නිල ප්‍රවාහන පහසුකම් ලබා දීම හා රජයේ වෛද්‍යවරුන්ට ලබා දෙන බවට පොරොන්දු වී ඇති සියලු දීමනා ලබාදීම යන සේවා ඉල්ලීම් මුල් කරගෙන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබිණි.

මානුෂීය හේතූන් මත බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා, කාසල් වීදිය කාන්තා, ද සොයිසා කාන්තා, මහරගම පිළිකා හා පේරාදෙණිය සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ළමා යන රෝහල් හා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරුන් මෙම වර්ජනයට සහභාගී නොවූහ. වර්ජනය අද (26 දා) උදැසන 8 ට අවසන් වීමට නියමිතය.

පසුබිම් වාර්තා බඩල්කුඹුර රවිඳු ගුණතිලක, කළුතර සමූහ විජයසිරි විද්‍යාසේකර, දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.