රුධිර හා මුත්‍ර පරීක්‍ෂණත් "පිටින්"කරගන්න වෙලා
රජයේ රෝහල්වලට යන රෝගීන් 'කබලෙන් ලිපට'

ඒමන්ති මාරඹේ

රජයේ රෝහල්වල සිදු කෙරෙන රුධිර හා මුත්‍රා පරීක්‍ෂණයන් පුද්ගලික වෛද්‍ය අංශයෙන් සිදු කර ගෙන පැමිණෙන ලෙසට රෝගීන්ට නිර්දේශ කිරීම වැඩි වී ඇති බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවැසීය.

මෙම තත්ත්වය මත රජයේ රෝහල් වෛද්‍ය රසායනාගාර (පැත් ලැබ්) හරහා නොමිලයේ සිදු කෙරෙන සාමාන්‍ය රුධිර පරීක්‍ෂණය (ෆුල් බ්ලඩ් කවුන්ට්‌), රුධිර ගත සීනි මට්‌ටම පරීක්‍ෂා කිරීමේ පරීක්‍ෂණය (පාස්‌ටින් බ්ලඩ් ෂුගර්), සරල මුත්‍රා පරීක්‍ෂණය ඇතුළු බොහෝ පරීක්‍ෂණ අධික මුදලක්‌ ගෙවා පුද්ගලික අංශයෙන් සිදු කර ගැනීමට රෝගීන්ට සිදුව ඇතැයි ඔහු කීවේය.

මෙසේ රජයේ රෝහල්වලින් සිදු කෙරෙන රුධිර හා මුත්‍රා පරීක්‍ෂණ පුද්ගලික වෛද්‍ය අංශයෙන් කරගෙන එන ලෙස නියම කිරීම අසාධාරණ ක්‍රියාවක්‌ බව පෙන්වා දුන් ජයසේකර මහතා පුද්ගලික අංශය එම පරීක්‍ෂණ සඳහා අධික මුදලක්‌ අය කිරීම හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන රෝගීන් එහිදී දැඩි අසීරුතාවට පත් වන බව අවධාරණය කළේය.

අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නම් දැනට පුද්ගලික අංශයෙන් සිදු කර ගන්නා ලිපිඩ් ප්‍රොෆයිල් ඇතුළු සංකීර්ණ රුධිර පරීක්‍ෂණයන් අඩු මුදලක්‌ වැය කරමින් රජයේ රෝහල්වල සිදු කිරීමට හැකියාව ඇතැයි ඔහු සඳහන් කළේය.

වසරකට පමණ පෙරදී රජයේ රෝහල්වල සිදු කෙරෙන රුධිර හා මුත්‍රා පරීක්‍ෂණයන් පුද්ගලික අංශයෙන් සිදු කිරීම තහනම් බව සඳහන් චක්‍රලේඛයක්‌ රජයේ රෝහල්වලට යවන බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනය කළ ද මෙතෙක්‌ එවැනි චක්‍රලේඛයක්‌ නිකුත් නොවීම නිසා එම පරීක්‍ෂණ තවදුරටත් නිදැල්ලේ පුද්ගලික අංශයට යෑවෙන බව පරිපුරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම්වරයා අවධාරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.