කන් ගැට්‌ටා සහ ළිං ගැට්‌ට

කිසියම් අපරාධයක්‌ සිදු වූ විට ඊට සම්බන්ධ පුද්ගලයන් වර්ගීකරණය වන නිල නොලත් සම්ප්‍රදායයක්‌ මේ රටේ තිබේ. ඒ, අපරාධයේ කුඩා මොළකරු, පුංචි මොළකරු, සාමාන්‍ය මොළකරු, මොළකරු, මහ මොළකරු, ප්‍රධාන මොළකරු යනාදී වශයෙනි. මේ සියලු දෙනා අත්අඩංගුවට පත්වීමෙන් පසු අල්ලා ගන්නා සැකකරුවන් පොලිසිය විසින් හඳුන්වනු ලබන්නේ "සෙසු මොළකරුවන්" ලෙසය. කොළඹ කෞතුකාගාර හොරකමේ මොළකරුවන් සහ "මොළ නොවන කරුවන්" කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මීට දෙතුන් දිනකට පෙර, එහි මහ මොළකරු වූ "කන්ගැට්‌ටා" පොලිසියට හසුවිය. කන්ගැට්‌ටා අත්අඩංගුවට ගන්නා අවස්‌ථාව වන විට, කෞතුකාගාර සොරකම ගැන රටත් ජනතාවත් මහත් සේ කලකිරීමට පත්ව සිටියහ. ජනතාවත්, මාධ්‍ය ආයතනත්, විපක්‍ෂයත් එක පොදියට පොලිසියට බැණ වැදුණාහ. හොරකම සම්බන්ධයෙන් තමන්ගේ නම ගාවන ලදැයි "දිවයින" ට චෝදනා කළ ඇමැතිවරයෙකු අපහාස නඩුවක්‌ ගොනු කර කෝටි කිහිපයක වන්දියක්‌ "දිවයින" පත්තරයෙන් ඉල්ලා සිටියේය. දේශපාලනඥයන් ඉල්ලන වන්දි ගෙවන්නට ගියහොත් මේ රටේ මාධ්‍ය ආයතන එකක්‌වත් පවත්වාගෙන යැමට සිදුවන්නේ නැත. කෙසේ වුවද කන්ගැට්‌ටා අත්අඩංගුවට ගන්නා අවස්‌ථාව වන විට පොලිසිය සිටියේ ළිං ගැට්‌ට මතය. ඔහු හසු නොවී නම් ස්‌ථිර වශයෙන්ම ළිඳට පනින්නට පොලිසියට සිදුවන්නේය. අපරාධයක්‌ සිදු වූ පසු, එමගින් අගතියට පත් වූ පාර්ශ්වයටත් වඩා අගතියට පත්වන්නේ පොලිසියයි. මාධ්‍යවලින් සහ ජනතාවගෙන් බැණුම් ඇසීමෙන් පසු පරීක්‍ෂණ පටන් ගන්නා විට පොලිස්‌ නිලධාරීන් ඉතා පරෙස්‌සමෙන් කටයුතු කළ යුතුය. ඇතැම් සැකකරුවකු අත්අඩංගුවට ගත් විට එම මෙහෙයුම භාරව කටයුතු කළ පොලිස්‌ ඕ. අයි. සී. වවුනියාවට මාරු කරනු ලැබේ. සාජන් අම්පාරට මාරු කරනු ලැබේ. සෙසු පොලිස්‌ බලයත්, ලංකාවේ දිසා අට තවත් අටකට බෙදා දහසය පොළකට මාරු කරනු ලැබේ. උදාහරණයක්‌ වශයෙන් ගතහොත් කහවත්තේ කොටකෙතනේ කාන්තා ඝාතන සමූහය ගැන නිසි ලෙස පරීක්‍ෂණ පවත්වා මෙහෙයුම් කළ පොලිස්‌ ප්‍රධානියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්‌ථාන මාරුවක්‌ ලැබිණ. එය ඒ වර්ගයේ පළමුවන සිද්ධිය නොවේ. දස දහස්‌වන සිද්ධිය හෝ එකොළොස්‌ දහස්‌ වන සිද්ධිය වීමට පුළුවන. පොලිසිය වෙනුවෙන් ඉමහත් සේවයක්‌ කළ ඇතැම් නිලධාරීහු දුර පළාත්වලට මාරු කරනු ලැබ, කලකිරීමට සහ අපරාධකරුවන්ගේ උපහාසයට ලක්‌ව අපකීර්තිමත් මිනිසුන් ලෙස විශ්‍රාම ලැබූහ. බොහෝ සිදුවීම්වලදී දේශපාලනඥයෝ කෙළින්ම පොලිසිවලට කතා කර තර්ජනය කරති. ජනාධිපතිතුමා මෙසේ පොලිසිවලට කතාකිරීම තහනම් කර තිබේ. උදාහරණයක්‌ වශයෙන්, මෑතකදී සිදු වූ ඉතාම කාලකණ්‌නි ක්‍රියාවකට වගකිවයුතු ඇමැතිවරයෙක්‌ ඒ ගැන බලපෑමක්‌ කර ගැනීම සඳහා ජනාධිපතිතුමා ඇමතූ විට දුරකථනයට ඒම පවා ජනාධිපතිතුමා ප්‍රතික්‍ෂේප කළේය. එහෙත් දේශපාලනඥයෝ හොරෙන් හොරෙන් පොලිසිවලට කතා කරති. අසවල් දේශපාලනඥයා අපට බලපෑම් කළේය යනුවෙන් ජනාධිපතිතුමාට කියන්නට යන පොලිස්‌ නිලධාරියෙකු නැත. මෙතැනදී ඇති එකම වාසිය වන්නේ දැනට සිටින පොලිස්‌පතිවරයා කොන්ද පණ ඇති මිනිසකු වීමය. ඔහු දේශපාලන බලයට නොනැමෙන බවට ආරංචියක්‌ පවතී. එහෙත් කොටකෙතන සිද්ධියේ මෙහෙයුම් භාරව ක්‍රියා කළ පොලිස්‌ ප්‍රධානියා මාරු කරන විට සිටියේ ද මේ පොලිස්‌පතිතුමාමය.

ලොව පුරා කෞතුකාගාර, සොරුන් විසින් බිඳිනු ලැබේ. බඩු ද නැති වේ. සමහර කෞතුකාගාර සොරකම්වල බඩු තවමත් හමුවී නැත. එහෙත් අපේ කෞතුකාගාරය අපට මහමෙරක්‌ තරමට වටිනා අතර එහි තිබෙන ඉපැරණි මලකඩ කෑ කඩු කැබැල්ල ද අපට එපමණටම වටින්නේය. ජාතික උරුමයන් පිළිබඳ ඇමැති මහාචාර්ය ජගත් බාලසූරිය රූපවාහිනි චැනලයක්‌ මගින් කියූ පරිදි කෞතුකාගාරයෙන් පැහැරගත් භාණ්‌ඩවල මුතු මැණික්‌ යනාදිය ගලවාගෙන තිබේ. සමහර විට ඒ මැණික්‌ කවදාවත් කිසි කලෙකත් යළි ජාතියට හමු නොවනවා ඇත. හොරාට උපරිම දඬුවම් කළ ද එසේ අහිමි වූ දේ නැවත ලබාගත හැකි වන්නේ කැබලි වශයෙනි. මේ නිසා වහාම කළයුත්තේ කෞතුකාගාරය වැනි පුරාවස්‌තු තිබෙන තැන්වලට දැඩි ආරක්‍ෂාව යෙදීම ය. කන්ගැට්‌ටා අල්ලාගත් පමණින් මේ සොරකම වටා ගොඩනැඟී ඇති විවිධ ආරංචි නැතිව යන්නේ නැත. එම සැකය නැතිවන්නේ සත්‍යය ජනතාව ඉදිරියට ගෙනා විටය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.