හදවත් රෝගී දරුවන් සඳහා කොළඹ
ළමා රෝහලේ සියලු පහසුකම් තිබෙනවා
විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ

උපාලි ද සේරම්

ළමා හෘද රෝග සඳහා අවශ්‍ය සියලු ප්‍රතිකාර පහසුකම් කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ හදවත් රෝග ඒකකයේ ඇති බැවින් හදවත් රෝගී දරුවකුට ප්‍රතිකාර කිරීම සඳහා ආධාර පත් අලෙවි කරමින් මුදල් එකතු කිරීමේ හෝ විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක්‌ නැතැයි ළමා හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා "දිවයින"ට පැවැසීය.

දරුවන්ගේ හදවත් සැත්කම් සඳහා රුපියල් ලක්‍ෂ ගණන් වැයවන බව පවසමින් ඇතැම් දෙමාපියන් සහ පුද්ගලයන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ නම් භාවිත කරමින් රට පුරා මුදල් එකතු කිරීමේ ජාවාරමක යෙදී සිටින බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ළමා රෝහලේ කිසිදු වෛද්‍යවරයකු එලෙස තැන තැන ගොස්‌ මුදල් ආධාර එකතු කිරීම සඳහා ලිපි නිකුත් නොකරන බවත් ලිපි නිකුත් කරනු ලබන්නේ ජනාධිපති අරමුදලින් මුදල් ආධාර ලබා ගැනීමට පමණක්‌ බවත් සඳහන් කළේය.

හදිසි හදවත් සැත්කමක්‌ කළ යුතු දරුවකු ඇත්නම් වහාම සැත්කම සඳහා යොමුකරන බවත් එවැනි සැත්කම් පෞද්ගලික රෝහල් වෙතින් හෝ විදේශගතව සිදුකර ගැනීමට ළමා රෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණෙන කිසිදු දරුවකු යොමු නොකරන බවද විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා අවධාරණය කළේය.

ළමා රෝහලේ හදවත් සැත්කම් ඒකකයේ නවීන පහසුකම් සහිත ශල්‍යාගාර සහ ඇඳන් 18 කින් යුත් දැඩිසත්කාර ඒකකයක්‌ද ඇති බවත් පෞද්ගලික රෝහලකින් හෝ විදේශගතව තම දරුවාට හදවත් සැත්කමක්‌ කරගත යුතු නම් ඒ සඳහා මුදල් ආධාර එකතු නොකර තම පෞද්ගලික මුදලින් කරගත හැකි බවත් හෙතෙම පැවැසීය. මුදල් ආධාර එකතු කරන්නන් පිළිබඳව සත්‍ය තොරතුරු ළමා රෝහලේ හෘද සැත්කම් ඒකකයේ දුරකථන අංකය වන 011-2693711 ඇමතීමෙන් ලබාගත හැකි බවද ළමා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.