අධිකරණයේ නිදහස ගැන
විශ්වාසය කඩවීම සුදුසු නොවේ

දෝෂාභියෝගය
යළි සලකා බලන්න

ෙත්‍රෙනිකායික මහ නාහිමිවරු
ජනපතිගෙන් ඉල්ලති


අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව කථානායකවරයාට බාරදී ඇති දෝෂාභියෝග යෝජනාවක අවශ්‍යතාව සම්බන්ධයෙන් යළිත් විමර්ශනාත්මකව සලකා ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිමින් ෙත්‍රෙනිකායික මහා නාහිමිපාණන් වහන්සේලා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ යවා ඇත.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන, අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌තාභිධාන, අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ශ්‍රී Æණිස්‌සරාභිධාන, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරියාභිධාන මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතු එම ලිපියෙහි මෙසේ ද දැක්‌වේ.

අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව කථානායකවරයාට භාර දී ඇති දෝෂාභියෝග යෝජනාව මුල්කොට ගෙන ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තරය තුළ මතු වී ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පවා අවධානය හා සැලකිල්ල යොමු වී ඇති බව පෙනේ. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා අපගෙන් ද කරුණු විමසා සිටින බැවින් ඒ පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකිරීම මැනවැයි හැඟිණ.

පාර්ලිමේන්තුව, විධායකය, අධිකරණය අතුරෙන් උත්තරීතර වන්නේ කවරක්‌ වුවද රටේ නීතිය (ප්‍රඥප්තිය) හා යහපැවැත්ම සුරක්‍ෂා කිරීමේදී මෙම ආයතන තුනම එකිනෙකට නොදෙවෙනි උත්තරීතර බවක්‌ ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අගයන කවරෙකුට වුව පැහැදිලි වේ. නීතිය (ප්‍රඥප්තිය) වනාහි මානව ශිෂ්ටාචාරය හා බැඳි මානවයාගේ යහපත අරමුණු කොට පවතින්නක්‌ බැවින් පුද්ගල චර්යාවන් පාලනය කෙරෙමින් පුද්ගලයන්ගේත්, සමාජයේත්, භෞතික සම්පත්වලත් යහපැවැත්ම සාධනය කර ගනු වස්‌ හා අධර්මය මැඬපවත්වා ධර්මය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පරිසරය සකසා දීම බලවත් යුතුකමක්‌ සේ සැලකීම බෞද්ධ නීතියේ හරය සේ සැලකිය හැකිය. එබැවින් නීතිය ස්‌වාධීනව, අපක්‍ෂපාතීව ක්‍රියාවට නැංවීමට හැකිවන සේ අවශ්‍ය පරිසරය හා ස්‌වාධීනත්වය මැනවින් සලසා දීම මානව වර්ගයාගේ යහපැවැත්ම අපේක්‍ෂා කරන සැමගේ පරම යුතුකම සේ සලකමු.

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලිච්ඡවිනට වදාළ සප්ත අපරිහානි ධර්ම තුළින් ඒ රජදරුවන්ට අනුදැන වදාළ තුන්වන සප්ත අපරිහානි ධර්මය වූයේ "පෙර නොපනවන ලද නීති ව්‍යවස්‌ථා නොපනවන්නේ නම්, පැනවූ නීති ව්‍යවස්‌ථා නොකඩ කොට රකිත් නම් පෞරාණික වඡ්ජ ධර්ම පිළිගෙන ඒ අනුව පවතිත් නම් වඡ්ජිනට අභිවෘද්ධියක්‌ මිස පරිහානියක්‌ නොවන බවය." එකී බුද්ධ දේශනය අනුව රටේ, සමාජයේ, ජාතියේ අවධානය යොමු කොට සාධාරණත්වය වඩාත් ඉස්‌මතු වන සේ ඉවසිලිවන්තව තීන්දු තීරණ ගැනීම හා ක්‍රියා කිරීම අතිශයින් වැදගත් වන්නේ යෑයි සලකමු.

වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයෙහි සාමාන්‍ය පුරවැසියා දක්‌වාම සෑම සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කර ගැනීමට මහත් සේ දායක වන අධිකරණයේ ස්‌වාධීනත්වය සම්බන්ධයෙන් පොදු ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු නොවන ආකාරයෙන් ඔවුන්ගේ විශ්වාසය කඩනොවන ආකාරයෙන් ඉතා ප්‍රවේශමෙන් ඉවසිලිවන්තව ක්‍රියා කළ යුතු බව ඉතිහාසය විසින් ද සනාථ කොට ඇත.

එබැවින් රට දැනට මුහුණ දී ඇති ස්‌වාභාවික විපත්, ජාත්‍යන්තර ඇඟිලි ගැසීම්, දේශපාලන ආර්ථික හා සාමාජික අර්බුද මධ්‍යයෙහි මුළු රටම එක්‌සත්ව, එක්‌සිත්ව කටයුතු කර සමගියෙන්, සමාදානයෙන් එකී අර්බුද නිරාකරණය කිරීමට කටයුතු කළ යුතු වාතාවරණයක එයට බාධාවක්‌ වන ආකාරයෙන් පොදු මහජනතාව තුළ අධිකරණයේ ස්‌වාධීනත්වය පිළිබඳ අවිශ්වාසී, ප්‍රශ්නකාරී වාතාවරණයන් නිර්මාණය කර ගැනීම කිසිසේත් යෝග්‍ය නොවෙතැයි අපගේ හැඟීමය.

එබැවින් අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව කථානායකවරයාට භාර දී ඇති දෝෂාභියෝග යෝජනාවක අවශ්‍යතාවය සම්බන්ධයෙන් යළිත් වරක්‌ විමර්ශනාත්මකව සලකා බලා ක්‍රියා කරන ලෙස කරුණාධ්‍යාශයෙන් ඉල්ලා සිටුම්හ.

තෙරුවන් සරණයි ·

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.